News Line| Off Air
Generic placeholder image

Aug
12

එක්සත් රාජධානියේ බලශක්ති වෙළෙඳපොළට එන ටෙස්ලා

445 Views


එක්සත් රාජධානියේ බලශක්ති වෙළෙඳපොළට එන ටෙස්ලා

ටෙස්ලා සමාගම, එලෝන් මස්ක්ගේ අයිතිය යටතේ, එක්සත් රාජධානියේ නිවෙස්වලට විදුලිය සැපයීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය බලශක්ති නියාමන ආයතනයක් වන Ofgem වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අයදුම්පත අනුමත වුවහොත්, ටෙස්ලාට එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය පුරා ක්‍රියාත්මක වන විශාල බලශක්ති සමාගම් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා.

මෑතකදී මැන්චෙස්ටර් නගරය කේන්ද්‍ර කර ගනිමින් ලියාපදිංචි කරන ලද Tesla Energy Ventures Limited සමාගම විසින් මෙම අයදුම්පත ඉදිරිපත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂකවරයා වන ඇන්ඩෲ පේන්, ටෙස්ලා සමාගමේ යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකා කලාපය භාර බලශක්ති ප්‍රධානියා ලෙස කටයුතු කරන බව ඔහුගේ ලින්ක්ඩින් පැතිකඩෙහි සඳහන් වනවා.

විදුලි මෝටර් රථ නිෂ්පාදනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන ටෙස්ලා, මේ වන විට බැටරි ගබඩා සහ සූර්ය බලශක්ති විසඳුම් ලබා දීමේ ව්‍යාපාරයේ ද නියැලෙමින් සිටියි. පසුගිය වසරේදී සූර්ය කෝෂ, බැටරි සහ වෙනත් බලශක්ති නිෂ්පාදන අලෙවියෙන් ලැබූ ආදායම 93% කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 1.5 දක්වා වැඩි වී තිබෙනවා.

ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන එලෝන් මස්ක්, පසුගිය සතියේ ටෙස්ලා සමාගමෙන් ඩොලර් බිලියන 29 ක වැටුප් පැකේජයක් ද ලබා ගෙන ඇති අතර මේ වනවිටත් ටෙස්ලා සමාගම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිවෙස්වලට විදුලිය සැපයීම සිදු කරනු ලබනවා.

ටෙස්ලා හි ප්‍රධාන ව්‍යාපාරය වන මෝටර් රථ අලෙවිය පහත වැටෙමින් පවතින අවස්ථාවකයි මෙම බලශක්ති ව්‍යාපාර පුළුල් කිරීමේ පියවර ගෙන තිබෙන්නේ. අප්‍රේල් සිට ජූනි මාසය දක්වා කාලය තුළ ටෙස්ලාගේ මෝටර් රථ ආදායම 16% කින් ද, සමස්ත ආදායම 12% කින් ද අඩු වී තිබෙනවා. Model Y සහ Model 3 රථවල අලෙවිය 12% කින් අඩු වූ අතර, අධි මිල ගණන් සහිත Cybertruck වැනි මාදිලිවල විකුණුම් ද 52% කින් පහත වැටී තිබෙනවා.

එක්සත් රාජධානියේ මෝටර් රථ නිෂ්පාදකයන් සහ වෙළෙන්දන්ගේ සංගමය (SMMT) පවසන පරිදි, ජූලි මාසයේදී ටෙස්ලා මෝටර් රථ විකුණුම් 60% කින් අඩු වී තිබෙනවා. ඒ හා සමානව යුරෝපයේ ද විකුණුම් 22% කින් පහත වැටී ඇත.

ටෙස්ලා මෝටර් රථවල අලෙවිය අඩුවීමට හේතුව ලෙස එලෝන් මස්ක්ගේ දේශපාලනික මතවාදයන්ට ලැබෙන ප්‍රතිචාර සහ චීන විදුලි මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එල්ල වන තරඟය බලපා ඇති බව බොහෝ දෙනා විශ්වාසයයි.


News Articles
Latest Videos
Most Popular Post