පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේදී ඇලෙක්සැන්ඩර් මූන් අනුස්මරණ කෞතුකාගාරය ඊයේ(28) විවෘත කෙරුණා. මෙම කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන්නක් ලෙසයි සැළකෙන්නේ.
මහවැලි ගං ඉවුරේ අක්කර 147ක පැතිරී ඇති පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඉතිහාසය 14 වැනි සියවස දක්වා දිව යයි. එය වරක් රජවරුන්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ විවේක ස්ථානයක් වූ අතර, බ්‍රිතාන්‍ය යුගයේදී කෝපි, කුරුඳු වැනි බෝග සඳහා පර්යේෂණාගාරයක් ලෙස ද භාවිතා වී තිබෙනවා. වර්තමානයේ එය ශාක විශේෂ 4,000කට අධික සංඛ්‍යාවකට නිවහනක් වන අතර වාර්ෂිකව මිලියන දෙකක පමණ නරඹන්නන් පිරිසක් උද්‍යානය නැරඹීමට පැමිණේ.
පේරාදෙණිය යනු අලංකාරයට පමණක් සීමා නොවූ, දැනුම සහ පරිසර පද්ධති සම්බන්ධයෙන් මිනිසුන් දැනුවත් කළ ස්ථානයක් බවයි පරිසර අමාත්‍යාංශයේ පරිසර උපදේශක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පෙන්වා දෙන්නේ. නව කෞතුකාගාරය 1824 දී ශ්‍රී ලංකාවේ ආවේණික ශාක පිළිබඳ පුළුල් නාමාවලියක් ප්‍රකාශයට පත් කළ පුරෝගාමී උද්භිද විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩර් මූන් සිහිවීම පිණිසයි විවෘත කොට ඇත්තේ.
මූන් කෞතුකාගාරයේ මූලික අරමුණ වන්නේ අනතුරට ලක් වූ ශාක විශේෂ සංරක්ෂණය කිරීම, ජානමය ද්‍රව්‍ය සුරක්ෂිත කිරීම, උසස් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, පොදු ජනතාවට, විශේෂයෙන්ම නව පරපුරට පාරිසරික දැනුම බෙදා හැරීම,
ආචාර්ය කාරියවසම් මහතාට අනුව, මෙම කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ උද්භිද උරුමය “ජීවමාන පන්ති කාමරයක්” බවට පත් කිරීමේ වැඩසටහනක් ලෙසද පෙන්වා දිය හැකියි.
මෙම නව කෞතුකාගාරය තුළ පරිසර පද්ධති සහ ශාක පරිණාමය පැහැදිලි කරන අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන, ශාක ඉතිහාසය පෙන්වන වියළි-ශාක දර්ශක සහ ආකෘති, දේශීය සංරක්ෂණ වැඩසටහන් පිළිබඳ මඟ පෙන්වීම්, ශාක ජාන සංරක්ෂණය කරන ආකාරය පෙන්වන බීජ බැංකු සහ ශාකාගාර සාම්පල, ශ්‍රී ලංකාවේ කුළුබඩු ඉතිහාසය සහ ගෝලීය වෙළඳාම පිළිබඳ කතන්දර පුවරු වැනි දෑ දැක බලා ගත හැකියි.
දේශගුණික විපර්යාස, වන විනාශය සහ නාගරීකරණය හමුවේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අවදානමට ලක්ව ඇති යුගයක, ශාක පිළිබඳ දැනුම ආරක්ෂා කිරීම සහ බෙදා හැරීම අත්‍යවශ්‍ය බව ආචාර්ය කාරියවසම් මෙහිදී තවදුරටත් අවධාරණය කරයි. මෙම නව ඇලෙක්සැන්ඩර් මූන් අනුස්මරණ කෞතුකාගාරය, උද්භිද උද්‍යානය උගත්කම, පර්යේෂණ සහ ක්‍රියාකාරීත්වය සඳහා වූ ගතික අවකාශයක් බවට පත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි මෙහිදී තව දුරටත් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.



