News Line| Off Air
Generic placeholder image

Sep
29

ලෝක හදවත් දිනය (World Heart Day) අදයි

492 Views


ලෝක හදවත් දිනය (World Heart Day) අදයි

ලෝක හදවත් දිනය යනු හෘද රෝග (හෘද වාහිනී රෝග – Cardiovascular Diseases/CVD) පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම සමරනු ලබන වැදගත් දිනයක්. සෑම වසරකම සැප්තැම්බර් මස 29 වන දින ලෝක හෘද දිනය ලෙස නම්කර තිබෙනවා. 1999 වසරේදී ලෝක හෘද සම්මේලනය (World Heart Federation – WHF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව මෙම දිනය ප්‍රථමයෙන් ස්ථාපිත කර තිබෙනවා. පළමු ලෝක හෘද දිනය 2000 වසරේ සැප්තැම්බර් මස අවසාන ඉරිදා දිනයි සමරා ඇත්තේ. ඉන්පසු 2011 වසරේ සිටයි සැප්තැම්බර් 29 ස්ථිර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ඇත්තේ.

ලොව පුරා මරණ සඳහා ප්‍රධානතම හේතුව වන හෘද රෝග සහ ආඝාත (Stroke) පිළිබඳ අවදානම, වැළැක්වීමේ ක්‍රම සහ ඒවායේ ගෝලීය බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ. ලෝකයේ සිදුවන මරණවලින් විශාල ප්‍රතිශතයක් හෘද රෝග හේතුවෙන් සිදුවන අතර, එම මරණවලින් 80% ක් පමණ නිවැරදි ජීවන රටාවන් හරහා වළක්වා ගත හැකි බවයි ලෝක හෘද සම්මේලනය පෙන්වා දෙන්නේ.

හෘද රෝග වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය කරුණු ලෙස,

  1. නිරෝගී ආහාර රටාව (යහපත් පෝෂණය) – පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, සහ අඩු මේද සහිත ආහාර ගැනීම, ලුණු සහ සීනි භාවිතය අවම කිරීම.
  2. ශාරීරික ක්‍රියාකාරකම් (ව්‍යායාම) – දිනපතා විනාඩි 30 ක් වත් ව්‍යායාමවල නිරත වීම.
  3. දුම්පානයෙන් වැළකීම – දුම්පානය සම්පූර්ණයෙන්ම නතර කිරීම සහ දුම්පානය කරන ස්ථානවලින් ඈත් වී සිටීම.
  4. මානසික සෞඛ්‍යය (ආතතිය පාලනය) – ආතතිය සහ මානසික පීඩනය කළමනාකරණය කර ගැනීම.
  5. නිතිපතා පරීක්ෂාවන් – අධි රුධිර පීඩනය (Hypertension), දියවැඩියාව (Diabetes) සහ කොලෙස්ටරෝල් මට්ටම් වැනි හෘද රෝග අවදානම් සාධක නිතිපතා පරීක්ෂා කර බැලීම වැනි දේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමෙන් ජීවිත හානියක් සිදුවීමේ අවදානම බොහෝ දුරට අවම කරගත හැකියි.

මෙවර ලෝක හෘද දිනයේ තේමාව වන්නේ “සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා” යන්නයි. සෑම වසරකම ලෝක හෘද සම්මේලනය නව තේමාවක් හඳුන්වා දෙනු ලබන අතර, මින් පෙර වසරේ තේමාව වූයේ “Use Heart, Know Heart” (හදවත භාවිතා කරන්න, හදවත දැනගන්න) යන්නයි. ඔබගේ ජීවිතයේ ප්‍රමුඛතාවය හෘද සෞඛ්‍යයට ලබා දීමෙන් ඔබටත්, ඔබේ ආදරණීයන්ටත් නිරෝගී ජීවිතයක් ගත කළ හැකියි.


News Articles
Latest Videos
Most Popular Post