News Line| Off Air
Generic placeholder image

Dec
18

ආක්ටික් අයිස් කතරේ පිපුණු මාතෘ සෙනෙහස

87 Views


ආක්ටික් අයිස් කතරේ පිපුණු මාතෘ සෙනෙහස

කැනඩාවේ විද්‍යාඥයින් විසින් හිම වලස් මවක් වෙනත් පැටවෙකු හදා වඩා ගැනීමේ (adoption) දුර්ලභ සිදුවීමක් වාර්තා කර තිබෙනවා. ආක්ටික් කලාපයේ වෙසෙන මෙම ප්‍රබල විලෝපිකයන් අතර පවතින සංකීර්ණ සබඳතා මින් මනාව පැහැදිලි වන අතර විද්‍යාඥයින් මෙය හඳුන්වන්නේ “කුතුහලය දනවන හැසිරීමක්” ලෙසයි.

‘Polar Bears International’ නම් සංරක්ෂණ සංවිධානය පවසන පරිදි, පසුගිය වසන්ත කාලයේදී ඔවුන් එක් හිම වලස් මවකට GPS කරපටියක් පළඳවන විට ඇය සතුව සිටියේ එක් පැටවෙකු පමණක් බවත් පසුගිය මාසයේදී ඇය එකම වයසේ පසුවන පැටවුන් දෙදෙනෙකු සමඟ සිටිනු දැකීමෙන් පසු, මෙය ඉතා දුර්ලභ ගණයේ “දරුකමට හදා ගැනීමක්” බවයි ඔවුන් තහවුරු කරන්නේ.

“හිම වලස් මව්වරුන් සැබවින්ම ඉතා හොඳ මව්වරුන්. ඔවුන් තම පැටවුන් රැකබලා ගැනීමට උපතින්ම හුරු වී සිටිනවා,” යනුවෙන් කැනඩාවේ පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ ඉවාන් රිචඩ්සන්ගෙන් මේ පිළිබඳ විමසූ අවස්ථාවකදී අදහස් දක්වා තිබුණේ. “මව අහිමි වූ කුඩා පැටවෙකු වෙරළේ හඬමින් සිටිනු දුටු විට, එවැනි මව්වරුන්ට ඔවුන්ව රැකබලා නොගෙන සිටීමට නොහැකියි. මෙය හිම වලසුන්ගේ ජීවිතයේ ඉතා රසවත් පැත්තක්.”

විද්‍යාඥයින් ‘X33991’ ලෙස හඳුන්වන මෙම මව සහ පැටවුන්, බටහිර හඩ්සන් බොක්කේ (Western Hudson Bay) වෙසෙන වලස් ගහනයට අයත් වේ. පසුගිය වසර 50 ක කාලය තුළ විද්‍යාඥයින් වලසුන් 4,600 ක් පමණ අධ්‍යයනය කර ඇති අතර, එවැනි දරුකමට හදා ගැනීමක් වාර්තා වූ 13 වන අවස්ථාව මෙයයි.

මේ වන විට මාස 10 ක් හෝ 11 ක් පමණ වයසැති මෙම පැටවුන් දෙදෙනා ඉතා නිරෝගීව පසුවන අතර, ඔවුන් තවත් වසර එකහමාරක් පමණ තම මව සමඟ රැඳී සිටිනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා. GPS දත්ත වලට අනුව මෙම වලස් පවුල දැනටමත් මුහුදු අයිස් මතට ගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. දඩයම් කරන ආකාරය ඉගෙන ගන්නා තෙක් මෙම පැටවුන් තම මව ලබා දෙන ආහාර මත යැපෙමිනුයි ජීවත් වන්නේ.

ධ්‍රැවීය වලසුන්ගේ ජීවිතය අතිශය දුෂ්කරය. ශීත කාලයේ අයිස් මත දඩයම් කරමින් සහ ගිම්හානයේ මාස ගණනාවක් ආහාර නොමැතිව සිටීමට ඔවුන්ට සිදුවනවා. පර්යේෂණ වලට අනුව උපදින පැටවුන්ගෙන් අඩක්ම වැඩිහිටි වියට පත්වීමට පෙර මිය යති. එවැනි පසුබිමක මෙම මවගේ ක්‍රියාව සැබවින්ම සුවිශේෂී ලෙසයි මෙම විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post