News Line| Off Air
Generic placeholder image

Jan
29

හදවත් දිනූ මියුරු හඬක් බොලිවුඩයෙන් සමුගනී – අරිජිත් සිංගේ යුගයක නිමාව

62 Views


හදවත් දිනූ මියුරු හඬක් බොලිවුඩයෙන් සමුගනී – අරිජිත් සිංගේ යුගයක නිමාව

බොලිවුඩ් සිනමාවේ සමකාලීන සංගීතයේ එක් යුගයක නිමාව සනිටුහන් කරමින්, ප්‍රකට ඉන්දීය ගායන ශිල්පී අරිජිත් සිං තවදුරටත් නව පසුබිම් ගායන අවස්ථාවන් භාර නොගන්නා බව නිවේදනය කිරීමත් සමඟ ඔහුගේ රසිකයන් දැඩි කණගාටුවට පත්ව සිටිනවා.

බොහෝ රසිකයන් ඔහුගේ හඬ “අපගේ හදවත් බිඳීම් සහ සැමරුම්වල හඬ” ලෙසත්, තවත් පිරිසක් එය “අපගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැඳී ඇති හඬක්” ලෙසත් හඳුන්වමින් තම කණගාටුව පළකොට තිබෙනවා. ඉන්දීය සිනමාවේ පසුබිම් ගායනය යනු නළු නිළියන් තිරය මත තොල් මතුලනය කරන (lip-sync) ගීත චිත්‍රාගාර තුළ පටිගත කිරීමයි. මෙය බොලිවුඩ් කථා කලාවේ පදනමක් ලෙසත් හැඳින්වෙනවා. අරිජිත් සිංගේ හඬ මෑත කාලීන ආදරණීය ගීත සහ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට සංගීතය සමඟ වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී තිබූ බව නොරහසක්.

එඩ් ෂීරාන් වැනි ගෝලීය සංගීත තරු සමඟ ද සහයෝගයෙන් කටයුතු කර ඇති 38 හැවිරිදි මෙම ගායකයා, පසුගිය අඟහරුවාදා ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඔස්සේ සිය තීරණය නිවේදනය කර තිබුණේ මෙලෙසිනුයි.

“මම මෙයින් සමුගන්නවා. එය ඉතා සුන්දර ගමනක්,” යැයි ඔහු එහි සඳහන් කර තිබුණා.

ඔහුගේ ගීත ඉන්දියාවේ සංස්කෘතික ජීවිතයට කෙතරම් බද්ධ වී ඇත්ද යන්න පිළිබඳව රසිකයන් සමාජ මාධ්‍ය හරහා මේ වනවිටත් විවිධ සටහන් පළ කරමින් සිටිනවා. ඔහු පසුබිම් ගායනයෙන් ඉවත් වීමට නිශ්චිත හේතුවක් සඳහන් කර නැතත්, දැනට භාරගෙන ඇති ව්‍යාපෘති අවසන් කර ඉදිරියට ස්වාධීන සංගීත නිර්මාණකරණයෙහි සහ වාණිජ සිනමාවෙන් ඔබ්බට ගිය නිර්මාණාත්මක කටයුතුවල නිරත වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෑතකදී ඔහු ලන්ඩන් නුවර වෙම්බ්ලි (Wembley) ක්‍රීඩාංගණයේදී රසිකයන්ගෙන් පිරීගිය ප්‍රසංගයක් පැවැත්වූ අතර, එය ඉන්දීය පසුබිම් ගායකයෙකු ලබන දුර්ලභ ජයග්‍රහණයක්. දශකයකට වැඩි කාලයක් පුරා මිලියන සංඛ්‍යාත ජනයාගේ විරහව, ආශාව සහ ප්‍රේමය සිය සුමුදු හා හෘදයාංගම හඬින් අලංකාර කළ ඔහු, බොලිවුඩයට නැතිවම බැරි හඬක් බවට පත්ව තිබුණා. කෙසේ වෙතත්, ප්‍රසිද්ධියේ ඉහළම තලයේ සිටියදී පවා ඔහු ජනප්‍රියත්වයේ සීමාවෙන් ඔබ්බට වී හුදෙකලාව සිටීමට ප්‍රිය කරන අයෙක් බවටයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේද ඔහුගේ වෘත්තීය ජීවිතයේ හිනිපෙත්තේ සිටින අවධියකදීයි.


News Articles
Latest Videos
Most Popular Post