ලෝකයේ ප්‍රමුඛතම ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් ප්‍රකාශයට පත් කළ මේ වසරේ “හොඳම ආසියානු කඳුකර ගමනාන්ත” ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ නුවරඑළිය නගරය ද ඇතුළත් කර තිබෙනවා. මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිතා කරන මෙම වෙබ් අඩවිය මගින් නුවරඑළිය ‘පුංචි එංගලන්තය’ ලෙස හඳුන්වා දී ඇති අතර, එහි පවතින සෞම්‍ය කාලගුණය, මනරම් හරිත තේ වතු යායන් සහ යටත්විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය සංචාරකයින්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදෙන බවත් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
ඉන්දියාවේ ශිම්ලා සහ මුන්නාර්, මැලේසියාවේ කැමරූන් හයිලන්ඩ්ස් මෙන්ම වියට්නාමය, ඉන්දුනීසියාව සහ භූතානය වැනි රටවල සුප්‍රසිද්ධ කඳුකර ප්‍රදේශ ද ඇතුළත් මෙම සුවිශේෂී ලැයිස්තුවට නුවරඑළිය එක්වීම මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉමහත් පිටුවහලක්. භාෂා 39කින් සේවා සපයමින් ලොව පුරා නවාතැන්පොළ මිලියන 6කට අධික ප්‍රමාණයක් ලැයිස්තුගත කර ඇති Agoda වැනි දැවැන්ත ආයතනයක් මෙලෙස නුවරඑළිය ඇගයීමට ලක් කිරීම ජාත්‍යන්තර අවධානය දිනාගැනීමටත් සමත්ව තිබෙනවා.