මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි 2026 දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා ඒකක පරිභෝජනය අනුව විවිධ ප්‍රතිශතයන්ගෙන් ගාස්තු ඉහළ දමා තිබෙනවා . ඒ අනුව, ඒකක 30 දක්වා වූ අවම පරිභෝජනය සහිත කාණ්ඩයට 4.3%ක (රු. 15ක) සහ ඒකක 31-60 දක්වා කාණ්ඩයට 6.9%ක (රු. 45ක) උපරිම බිල්පත් වැඩිවීමක් සිදු වී ඇතැයි වාර්තා වනවා. එසේම ඒකක 61-90 අතර පාරිභෝගිකයන් සඳහා 6.9%ක (රු. 120ක) වැඩිවීමක් ද, ඒකක 91-180 අතර කාණ්ඩය සඳහා 7.2%ක (රු. 420ක) උපරිම බිල්පත් වැඩිවීමක් ද මෙම නව සංශෝධනය මගින් නියම කර තිබෙනවා.
මාසික ඒකක පරිභෝජනය 180ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සදහා විදුලි ගාස්තු ගාස්තු ඉහල නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එම අංශයේ මාසික පරිභෝජනය ඒකක 180ට වඩා වැඩි ස්ථාන සදහා පමණක් සියයට 9.6කින් ගාස්තු ඉහල දැමීමටයි අනුමැතිය ලබාදී ඇත්තේ.
පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩය සදහා විදුලි ගාස්තු සියයට 8කින් ඉහල දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා. කර්මාන්ත අංශය සදහා ගාස්තු ඉහල යාම සියයට 8.7ක් වන අතර හෝටල් අංශය සදහා ගාස්තු සියයට 9.9 කින් ඉහල දැමීමටයි අනුමැතිය ලබා දී ඇත්තේ. රාජ්‍ය ආයතන සදහා විදුලි ගාස්තුව සියයට 14.4කින් ඉහල දැමීමට අනුමැතිය පිරිනමා ඇති අතර මෙම අංශ සදහා ද විදුලි ඉල්ලුම කලමණාකරණය කරමින් ගාස්තු ඉහලයාමේ බලපෑම අඩුකර ගත හැකිවන ආකාරයටයි විදුලි ගාස්තු සංශෝධනය කර ඇත්තේ.
කාර්ය බහුල කාලයන්හිදී විදුලි ඉල්ලුම කළමනාකරණය සදහා විදුලි සැපයුම් සමාගම් සහ විදුලි පාරිභෝගිකයින් දිරිමත් කිරීම සදහා ද මෙම ගාස්තු තීරණයේදී පියවර ගෙන ඇත. අනාගතයේදී ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් සදහා කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශ වලට අඩු විදුලි ගාස්තු ක්‍රමයක් හදුන්වාදීම සදහාද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මහජන උපදේශනයක් පැවත්වු අතර එහිදී ඉදිරිපත් වු යෝජනාද සැළකිල්ලට ගෙන ඇති බවට වැඩිදුරටත් සඳහන්.
