පරිසර හිතකාමීන් මෙන්ම ඉතිහාසයට ලැදි සැමගේ දෑසට කඳුළක් එක් කරමින් තවත් යුගයක නිමාව සලකුණු වී තිබෙනවා. සුප්‍රකට ‘රොබින් හුඩ්’ ජනප්‍රවාදය සමඟ සමීපව බැඳී පවතින, නොටින්හැම්ෂයර් හි ෂර්වුඩ් වනාන්තරයේ පිහිටි ‘මේජර් ඕක්’ (Major Oak) වෘක්ෂය නිල වශයෙන් මියගොස් ඇති බව පරිසර විද්‍යාඥයන් තහවුරු කර සිටිනවා.
මෙම වනාන්තරය කළමනාකරණය කරනු ලබන රාජකීය පක්ෂි ආරක්ෂණ සංගමය (RSPB) ප්‍රකාශ කළේ, මෙවර වසන්ත සෘතුවේදී ඉතිහාසයේ පළමු වතාවට මෙම දැවැන්ත වෘක්ෂයේ කිසිදු අලුත් කොළයක් හෝ දළුලෑමක් සිදු නොවූ බවයි.
විද්‍යාඥයන් පවසන පරිදි මෙම මේජර් ඕක් ගස වසර 800 ත් 1200 ත් අතර කාලයක් ජීවත් වී ඇති අතර, එය බ්‍රිතාන්‍යයේ පැරණිතම සහ විශාලතම ඕක් ගස්වලින් එකක්. සියවස් ගණනාවක් පුරා දරුණු ශීත කාලගුණයන්, හිම කුණාටු සහ ලැව්ගිනිවලට පවා නොසැලී මුහුණ දුන් මෙම වෘක්ෂයේ බිඳ වැටීමට හේතු කිහිපයක් බලපා තිබෙනවා.
වසර සිය ගණනාවක් තිස්සේ මෙම ගස නැරඹීමට පැමිණි මිලියන සංඛ්‍යාත සංචාරකයන් නිසා ගස වටා ඇති පස අධික ලෙස තද වී තිබෙනවා. මේ හේතුවෙන් මුල්වලට ජලය, ඔක්සිජන් සහ පෝෂක කොටස් උරා ගැනීමට නොහැකි වී ගස ක්‍රමයෙන් දුර්වල වී ඇති අතර අතීතයේදී මෙම ගස රැක ගැනීමට දැරූ උත්සාහයන් (විශාල යකඩ දම්වැල් සහ ලී මුක්කු යොදා අතු රඳවා තැබීම) නිසා කාලයත් සමඟ ගසේ ව්‍යුහයට දැඩි ආතතියක් සහ හානියක් සිදුව ඇති බවත් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම මෑත වසරවලදී ඇති වූ අධික උණුසුම් කාලගුණය සහ දරුණු නියඟය ද මෙම වයස්ගත වෘක්ෂයේ අභාවය ඉක්මන් කිරීමට හේතු වී ඇති බවත් සඳහන් වනවා.
ගස ජීවමානව නොමැති වුවද, එය ෂර්වුඩ් වනාන්තරයෙන් ඉවත් නොකර ස්වභාවික ස්මාරකයක් ලෙස එලෙසම තැබීමට RSPB සංගමය තීරණය කර තිබෙනවා. ඒ, එය දිරාපත් වන විටත් ප්‍රදේශයේ වෙසෙන කුරුල්ලන්, කෘමීන් ඇතුළු සතුන් රැසකට කදිම වාසස්ථානයක් වන නිසාවෙනුයි. එමෙන්ම, මෙම ඉතිහාසය ලෝකයෙන් සදහටම වඳ වී යන්නේ නැහැ. පසුගිය දශක කිහිපය පුරාම පරිසරවේදීන් මෙම ගසේ කරල් (Acorns) එකතු කර පැළ ලබාගෙන ඇති අතර, මේජර් ඕක් ගසෙන් ලබාගත් එම පැළ බ්‍රිතාන්‍යය පුරා සහ ලොව පුරා මේ වන විටත් සාර්ථකව රෝපණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
