නව අංක තහඩු නිකුත් කිරීමේදී ඇතිව තිබූ ප්‍රමාදය හේතුවෙන් නියමිත අංක තහඩු සවිකර නොමැති වාහන හිමියන්ට නීතිමය පියවර ගැනීමේදී අපහසුතාවක් ඇති නොවන පරිදි කටයුතු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
නව සැපයුම් ආයතනයක් මඟින් අංක තහඩු මුද්‍රණය කිරීම ජුනි 10 වැනිදා සිට ආරම්භ කර ඇති අතර, පසුගිය කාලයේ එකතුවී ඇති ඇණවුම්ද මේ වනවිට මුද්‍රණය කරමින් පවතී. අංක තහඩු බෙදාහැරීමේ කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නව පිරිවිතර යටතේ විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක සුදු අක්ෂර සහ ගරාජ් අංක තහඩු සඳහා තැඹිලි පැහැති පසුබිමක සුදු අක්ෂරද භාවිත කිරීමට නියමිතය.
අදාළ සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කර ක්‍රමවේද යාවත්කාලීන කරන තෙක්, අංක තහඩු සම්බන්ධයෙන් වාහන හිමියන් අපහසුතාවට පත් නොවන අයුරින් කටයුතු කරන ලෙසද බලධාරීන් දැනුම්දී ඇත.