බියගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් මාකොළ, පමුණුවිල ‘ගල්ඒදණ්ඩ’ ප්‍රදේශයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් බව සැලකෙන ඉපැරණි ගල්පාලමක නටබුන් පිරිසක් විසින් කඩා බිඳ දමා විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය සහ කොළඹ කොටුව ප්‍රදේශයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.
අදාළ ඓතිහාසික ස්ථානය 2023 වසරේදී පුරාවිද්‍යා භූමියක් ලෙස නිල වශයෙන් ගැසට් කර තිබියදීත්, පසුගිය 2026 පෙබරවාරි 26 වන දින යම් පිරිසක් විසින් මෙලෙස එහි පැවැති නටබුන් විනාශ කර ඇති බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන චරිත් පතිරාජ සඳහන් කරයි.
මෙම අත්තනෝමතික විනාශය පිළිබඳව ජනාධිපතිවරයා, සංස්කෘතික අමාත්‍යවරයා, වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වගකිවයුතු අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත්, එම දැනුවත් කිරීම්වලින් පසුවද අදාළ පුරාවිද්‍යාත්මක භූමියට හෝ ස්මාරකයට කිසිදු නිසි ආරක්ෂාවක් සැලසීමට පියවර ගෙන නොමැති බවත් ඒ මහතා චෝදනා කරයි.
ජාතික උරුමයක් වන මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්මාරක ආරක්ෂා කර ගැනීමට බලධාරීන් අපොහොසත් වීමට එරෙහිව සහ එම ස්ථානයට වහාම ආරක්ෂාව සපයන ලෙස බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.


