ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට සහාය දැක්වීමේ අඛණ්ඩ වැඩපිළිවෙළ යටතේ, ජපාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා පහසුකම් සලසා තිබේ.
සංචාරය අතරතුර ජපාන කණ්ඩායමට එරෙහිව තරග කිරීම සඳහා වයස අවුරුදු 17න් පහළ දිස්ත්‍රික් කණ්ඩායම් සහභාගී කරවමින් තරග පහක් සංවිධාන කර තිබූ අතර, එම තරග 50 පන්දුවාර ආකෘතිය යටතේ පැවැත්විණි.
එමෙන්ම සංචාරක කණ්ඩායම සඳහා පුහුණු සහ තරග පහසුකම්, ක්‍රීඩාංගණ, තරග නිලධාරීන් සහ ලකුණු සටහන්කරුවන් ඇතුළු අවශ්‍ය සහාය ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
සංචාරය අතරතුර ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා සමඟද හමුවක් පවත්වා තිබේ.
එම හමුවට ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රියෝ සකුරානෝ, කණ්ඩායම් කළමනාකරු ඩන්කන් හැරිසන් සහ ජපාන ක්‍රිකට් සංගමයේ සුහද තානාපති පියන්ත කාරියප්පෙරුම යන මහත්වරුන්ද සහභාගී වී ඇත.
මෙම සංචාරය, නැගී එන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්පත් හා විශේෂඥ දැනුම හුවමාරු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට සහාය දැක්වීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ඩ වැඩපිළිවෙළේ කොටසක් ලෙස සිදුකර තිබේ.