ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් සහ ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර විවේචනය කර තිබෙනවා.
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ඊයේ ලද පරාජයෙන් පසු තරග විශ්ලේෂණයට එක්වෙමින් සංගක්කාර පැවසුවේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග විලාසයේ විශාල පරතරයක් දක්නට ලැබුණු බවයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිතිකරණය, ශාරීරික යෝග්‍යතාව සහ තරග තත්ත්වයන්ට අනුව ක්‍රීඩා කිරීමේ හැකියාව වැඩිදියුණු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකාවේ හොඳම දඟ පන්දු යවන්නා ලෙස ඔහු හැඳින්වූ මහීෂ් තීක්ෂණ කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබදව ද ඔහු විමසා සිටියා.
හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් ද එහිදී ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කළා.
අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර වැනි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවේ වේගය සහ ස්ථානගත කිරීම භාවිත කරමින් හතරේ පහර ලබාගත් ආකාරය ඔහු සිහිපත් කළා.
වර්තමාන ශ්‍රී ලංකා පිතිකරුවන් සෑම පන්දුවකටම අධික බලයක් යෙදීමට උත්සාහ කරන බවත්, වේගවත් පන්දු හමුවේ තම පිතිකරණ ස්වරූපය අහිමි කරගන්නා බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව පන්දු 50ක් ලකුණු නොලබා අවසන් කළ බවයි නසාර් හුසේන් කියා සිටියේ.
සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ කාර්ඩිෆ්හි පැවති දෙවන පන්දුවාර 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එංගලන්තය කඩුලු 06 ක් ජයක් වාර්තා කළා.
කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.
ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 145 ක්.
පැතුම් නිස්සංක ලකුණු 37 යි.
පන්දු යැවීමේදී ලියම් ඩෝසන් ලකුණු 32 කට කඩුලු 03 ක් බිඳ හෙළුවා.
ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ජයග්‍රාහී සීමාවට ළගා වුණේ පන්දුවාර 12 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවි සිටියදීයි.