හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා.
ඒ, මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවකට අදාළවයි.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.
අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඔවුන්ගේ පෙර වැරදි පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයින් වෙත භාර දී ඇති ලේඛනවල අඩුපාඩු තිබේ දැයි සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ඒ පිළිබඳ සළකා බැලීම සඳහා නඩුව අප්‍රේල් මස 22 වැනිදා කැඳවන ලෙස නියමකර තිබෙනවා.