සුවස් ඇළේ එරී ඇති ” එම් වී එවර් ගිවන් ” නම් බහාලුම් නෞකාව නිසා නාවික යාත්‍රා තදබදයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ලෝක ආර්ථිකයට පවා බලපෑම් එල්ල වී ඇති අතර සුවස් ඇල හරහා දෛනිකව සිදුවන නෞකා ගමනාගමනයේ වටිනාකම ඩොලර් බිලියන 9.6ක් පමණ වන අදායම ද මේ වන විට අහිමි වී තිබෙනවා.
නැගෙනහිර හා බටහිර අතර ඉතා වැදගත් මාර්ගයක් වන ජල මාර්ගය ඔස්සේ මෙය පැයකට ඩොලර් මිලියන 400 ක වෙළඳාමක් සිදු කරන අතර ඇළේ බටහිර දෙසට ගමනාගමනය දිනකට දළ වශයෙන් ඩොලර් බිලියන 5.1 ක් ද නැගෙනහිර දෙසට දෛනික ගමනාගමනය ඩොලර් බිලියන 4.5 ක් ද වනවා.
සිර වී ඇති මෙම බහාලුම් නෞකාව ද සුවස් ඇළ මාර්ගයේ හරහට සිර වී තිබීම නිසා එය ඇළ මැදට තල්ලු කිරීම සහ ඇදගෙන යාම සඳහා “ටග් බෝට්ටු” බොහොමයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
ලොව කාර්යබහුලම නාවික ගමන් මාර්ගයක් ලෙස සැලකෙන සුවස් ඇළේ නැව් ගමනාගමනය තාවකාලිකව නවතා දැමීම නිසා තවත් නෞකා 300 ක් පමණ සිර වී නාවික යාත්‍රා තදබදයක් ද හටගෙන තිබෙනවා.






