News Line| Off Air
Generic placeholder image

Jun
26

ජාතික බලශක්ති දිනය අදයි

1173 Views


ජාතික බලශක්ති දිනය අදයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව ගොඩනැගෙන හරිත ආර්ථිකයකට අනුගතවූ බලශක්ති උත්පාදනය, සංරක්ෂණය සහ කළමනාකරණය යන අරමුණු පෙරදැරිව, පොසිල ඉන්ධන වලින් තොර තිරසර බලශක්ති ක්ෂේත්‍රයක අවශ්‍යතාව ශාක්සාත් කරගැනීම වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව එම ක්‍රියාවලියේ කොටස්කරුවන් කරගනිමින්, සෑම වසරකම ජූනි 26 දින ජාතික බලශක්ති දිනය වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට, විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය එක්ව පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන් එක්ව පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර විදුලිබල, බලශක්ති, අධ්‍යාපන, පරිසර යන අමාත්‍යාංශ සහ සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව තිරසර බලශක්ති පිළිබද පාසල් සිසුන්ගේ දැනුම, ආකල්ප සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් ජාතික වැඩසටහනක් සැලසුම් කර තිබේ. යෝජිත වැඩසටහන සෑම වසරකම ජූනි මස 26 දිනෙන් ආරම්භව ඊළඟ වසරේ එම දිනය දක්වා ක්‍රියාත්මක කර ජාතික ත්‍යාග ප්‍රදානෝත්සවයකින් අවසන් කිරීමටත් තීරණය කර තිබේ.

මේ වනවිට රට මුහුණපා ඇති ගෝලීය වසංගත තත්ත්වයන් හේතුවෙන් මේ සම්බන්ධයෙන් කළ හැකි ක්‍රියාකාරකම් සීමිත බවත්, මෙම තත්ත්වය සමනය වීමෙන් අනතුරුව ශිෂ්‍ය ප්‍රජාව පූර්ණ වශයෙන් මෙම ක්‍රියාදාමයට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තුවන බවත් විදුලිබල අමාත්‍යවරයා පවසයි. ඒ අනුව “ ලොවට බරක් නැති පුරවැසියෙක්” යන තේමාව යටතේ මේ වසර සදහා සිසුන්ට නිවසේ සිට තනි තනිව කළ හැකි ක්‍රියාකාරකම් ඇතුළත් සීමිත වැඩසටහනක් ප්‍රකාශයට පත්කර ඇතැයිද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post