මෙවර පළමු වාරය සඳහා වූ පාසල් නිවාඩුව එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 වැනිදා තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ 2022 පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් පැවැත්වෙන 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාල සීමාව ආවරණය වන පරිදි පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහෙත් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබානොදෙන බව නිවේදනයේ සඳහන් වනවා.
නමුත්, විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී පාසලක් වේ නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර නිවාඩු ලබාගත යුතු බවත් එවැනි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බවත් අමාත්‍යාංශය සඳහන් කරනවා.
එම කාලය තුළ එවැනි පාසල් සඳහා අදාළ පැවරුම් නිර්දේශ කොට, ඉගෙනුම් ක්‍රමවේද යොදා ගන්නා ලෙසට ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.