News Line| Off Air| Games
Generic placeholder image

Mar
24

ලෝක ක්ෂය රෝග දිනය ‍අද

202 Views


ලෝක ක්ෂය රෝග දිනය ‍අද

“වසර 2035 වන විට ශ්‍රී ලංකාව ක්ෂය රෝගයෙන් තොර රටක් බවට පත් කිරීම සඳහා සැම අත්වැල් බැඳ ගනිමු “

ලෝක ක්ෂය රෝග දිනය 2022 මාර්තු මස 24 දිනට යෙදී ඇත. ක්ෂය රෝගය යනු රෝග කාරක බැක්ටීරියාවකින් බෝවන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගයකි. රෝගියෙකු කසින විට පිටවන බිඳිති මගින් බෝවන මෙය පෙනහළු ආශ්‍රිතව ඇති වුවද මෙම බැක්ටීරියාවට ශරීරයේ ඕනෑම පටකයක් ආසාදනය කිරීමට හැකිය. බෝවන රෝග අතර කොවිඩ් 19 හැරුණ විට මෙම රෝගය දෙවෙනි වනුයේ ඩෙංගු රෝගයට පමණි.

ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මගින් වසර 2035 දී ශ්‍රි ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ අරමුණින්, ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාධිත, නමුත් ක්ෂය රෝගය වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු නොවූ සහ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් (Latent Tuberculosis infection – LTBI) සඳහා ප්‍රතිකාර කිරීම (LTBI Treatment) ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාවේ 2020 වසරේ ක්ෂය රෝගීන් 7258 ක් සහ 2021 වසරේදී 6771 ක් වාර්තා වී ඇත.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශිත ප්‍රක්ෂේපිත අගය වන 14000 ට වඩා අඩු මට්ටමකි. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව හඳුනා නොගත් ක්ෂය රෝගීන් සංඛ්‍යාව 6000 කි. එසේම වාර්තා නොවන රෝගීන් හදුනා ගැනීමට රෝගීන්ගේ ආශ්‍රිතයින් සහ අධි අවදානම් ඛාණ්ඩ පරීක්ෂාවට ලක් කළ යුතුයි.

දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන්, HIV/AIDS ආසාදනය වූ රෝගීන්, අවයව බද්ධ කළ රෝගීන්, පිළිකා රෝගීන් වැනි ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්, රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ගේ සමිපතමයන්, මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම් පානයට ඇබ්බැහි වූවන්, වයස අවුරුදු 05 ට අඩු කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයින්, මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන් සහ ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයන් හා සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ක්ෂය රෝගය වැළඳීමේ අවදානම් ඛාණ්ඩ ලෙස හඳුනා ගෙන ඇත.

2021 වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඔ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එය 2021 වසරේ හඳුනාගත් සමස්ත රෝගීන්ගෙන් සියයට 24.9 කි. බස්නාහිර පළාතෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව සියයට 44.6 කි. මීට අමතරව ගම්පහ, කළුතර සහ මහනුවර රෝගීන් බහුලව වාර්තාවන දිස්ත්‍රික්ක ලෙස හඳුනා ගෙන ඇත.

සති දෙකක් හෝ ඊට වැඩි කලක් පවතින කැස්ස, මද උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරුචිය, රාත්‍රියට දහදිය දැමීම, අධික තෙහෙට්ටුව, හතිය, කහිනවිට අතිවන පපුවේ වේදනාව සහ සෙම සමග ලේ පිටවීම සහ දරුවන්ට රෝගය ආසාදනය වූ විට වර්ධනය අඩාල වීම පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වේ.

දිවයින පුරා ස්ථාපිත කර ඇති ලය සායන 26 ක්, සෙම පටල පරීක්ෂා කරන මධ්‍යස්ථාන 160 ට වැඩි සංඛ්‍යාවක්, ශාඛා සායන 108 ක් මගින් රෝගීන් පරීක්ෂා කර නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.


News Articles
Latest Videos
Most Popular Post