නොවැම්බර් 17 අද රාත්‍රියේදී උතුරු ඇමරිකාව අවට අහස නරඹන්නන්ට ලියොන්ඩ් උල්කාපාත වර්ෂාවේ (Leonid Meteor Shower) උච්චතම අවස්ථාව නැරඹීමේ හැකියාවක් ඇත.
මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට කදිම අවස්ථාව වන්නේ සඳෙහි ආලෝකය ඉතා අඩුවෙන් පවතින අවස්ථාවක් වන (9% ක් පමණක් පිරී ඇති) ‘ක්ෂය වන චන්ද්‍රයා’ (Waning Crescent) අවස්ථාවේදී මෙය නිරීක්ෂණය කිරීමෙන් අහස නරඹන්නන්ට පැහැදිලි දසුනක් ලබා ගත හැකියි.
ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන මෙය, නිරීක්ෂකයා සිටින ස්ථානය අනුව පැයකට උල්කාපාත සිය ගණනක් සිට දහස් ගණනක් දක්වා දැකගත හැකි තාරකාමය සිදුවීමක් ලෙසත් මෙය හඳුන්වන්නට හැකිය.මෙම ලියොන්ඩ් උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව ලෙස මධ්‍යම රාත්‍රියත්, හිරු උදාවත් අතර කාලය සැලකිය හැකිය. උච්චතම අවස්ථාවක් නොවන අවස්ථාවන්හිදී පවා, අහස හරහා පැයකට උල්කාපාත 10 සිට 20 දක්වා ප්‍රමාණයක් දැකීමට නරඹන්නන්ට හැකි වනු ඇත.
නාසා ආයතනයට අනුව, ලියොන්ඩ් උල්කාපාත තත්පරයට සැතපුම් 44 ක වේගයෙන් ගමන් කරන අතර, ඒවා දීප්තිමත් හා වර්ණවත් බවින් යුක්තයි. 1966 දී, විනාඩි 15ක කාලයක් තුළදී දහස් ගණනක් වූ උල්කාපාත පෘථිවි වායුගෝලය හරහා වැටී ඇති අතර, අහස නරඹන්නන් පවසා ඇත්තේ එය ‘වැස්සක්’ මෙන් දිස් වූ බවයි. ලියොන්ඩ් උල්කාපාතවල මෙම දැඩි ක්‍රියාකාරිත්වයේ පිපිරීම් හොඳින්ම දැකගත හැක්කේ 55p/Tempel-Tuttle වල්ගා තරුව සූර්යයාට සමීපතම අවස්ථාවේදීය. මෙය වසර 33කට වරක් සිදු වේ. ඇමරිකානු උල්කාපාත සංගමයට (American Meteor Society) අනුව, 2099 දක්වා පෘථිවියට එවැනි ඝන සුන්බුන් වලාකුළු හමු නොවන බැවින්, 2031 හෝ 2064 දී වල්ගා තරුව නැවත පැමිණීමේදී ලියොන්ඩ් උල්කාපාත කුණාටුවක් ඇති නොවිය හැකිය.
මෙම දර්ශනීය උල්කාපාත වැස්ස නැරඹීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් නගර හෝ වීදි ලාම්පු වලින් ඈත්ව ගිය ස්ථානයක් සොයා ගෙන අහසේ නැගෙනහිර දෙස නිරීක්ෂණය කළ යුතු වේ. විනාඩි 30කට අඩු කාලයක් අඳුරේ හිඳීමෙන් ඔබේ ඇස් අනුවර්තනය වන අතර ඉන් අනතුරුව ඔබට උල්කාපාත වර්ෂාව දැකීමට හැකි වනු ඇත.

