පෘථිවිවාසීන්ට ඉතා දුර්ලභ අභ්‍යවකාශ සංසිද්ධියක් දැකබලා ගැනීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. එළඹෙන පෙබරවාරි 28 වන දින, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම පාහේ එකම රාත්‍රි අහසක දර්ශනය වන “මහා ග්‍රහ පෙළගැස්මක්” (Planetary Alignment) සිදුවීමට නියමිත බවයි අභ්‍යවකාශ විශේෂඥයින් පවසන්නේ.
මෙම සංසිද්ධියේදී බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක අහසේ විවිධ ස්ථානයන්හි එකම කාල පරාසයක් තුළදී දර්ශනය වීමට නියමිතයි.
විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, මෙම ග්‍රහලෝක අහසේ පරිපූර්ණ සරල රේඛාවක් ලෙස නොපෙනුනද, රාත්‍රී අහස පුරා පැතිරී යන අයුරින් මේවා එකවර එකම වේලාවක නිරීක්ෂණය කළ හැකිවීම විශේෂත්වයක්.
මෙම ග්‍රහලෝක අතරින් සිකුරු, බ්‍රහස්පති සහ අඟහරු වැනි දීප්තිමත් ග්‍රහලෝක පියවි ඇසින් පහසුවෙන් දැකගත හැකි වන අතර සාපේක්ෂව දුරින් පිහිටි යුරේනස් සහ නෙප්චූන් වැනි ග්‍රහලෝක නිරීක්ෂණය කිරීම සඳහා මූලික මට්ටමේ දුරදක්නයක් (binoculars) හෝ කුඩා දුරේක්ෂයක් භාවිතා කිරීම වඩාත් සුදුසු බවයි විශේෂඥයන් පවසන්නේ.
වසර ගණනාවකට පසු උදාවන සුවිශේෂී අභ්‍යවකාශ දර්ශනයක් නිසාවෙන් යළිත් මෙවැනි පෙළගැස්මක් ඔබට දැකබලා ගැනීමට හැකි වන්නේ 2040 වසරේදියි. ඒ වනවිට අප සියළු දෙනාම තවත් වසර 14කින් වැඩිමහළු වී හිඳිවි. එබැවින් තාරකා විද්‍යාවට ප්‍රිය කරන්නන් සඳහා මෙය ජීවිතයේ ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙසයි සැලකිය හැක්කේ. පෙබරවාරි 28 වන දින රාත්‍රියේ මෙම විස්මිත අභ්‍යවකාශ දසුන දැකබලා ගැනීමට ඔබත් අමතක නොකරන්න.
