News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

සර්පයන් සමඟ දිවි‍ගෙවන ලංකාවේ පරිසරවේදියා

1201 Views


සර්පයන් සමඟ දිවි‍ගෙවන ලංකාවේ පරිසරවේදියා

අපි ජීවත් වෙන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක හුස්ම ගන්න ජීවිත ගොඩක් ඉන්න ලෝකයක. හුස්ම ගන්න වාතය පවා විස මුහුවෙලා තියෙන පරිසරයක. ඒත් මේ හැමදේකින්ම ඈත්වෙලා වනසතුන් එක්ක වනාන්තරයේ ගත කරන ජීවිතත් නැතුවාම නෙමෙයි. මිනිස්සු විවිධාකාර වුණත් මිනිස්සුන්ගෙ සුවිශේෂී ඇවතුම් පැවතුම් සමහර වෙලාවට කාගෙත් අවධානයට යොමුවෙනවා. මේ ලෝකෙ වෙනස් වෙන්නත් හේතුව ඒ විවිධත්වය නිසා. කැලේ සතුන් එක්කම ජීවත්වෙන, ඒ අතරිනුත් සර්පයන්ට වැඩිපුර ආදරේ කරන, සර්පයන් සුරක්ෂිත කරන කෙනෙක් තමයි නිලුපුල් රංගන කියන්නෙ. අපි ඔහුව කතාබහට එකතු කරගත්තෙ සර්පයන් එක්ක ඔහුට තියන ඒ අමුතු ගනුදෙනුව නිසා.

කැලෑවට ආදරෙ කරන්න පටන් ගත්තෙ කොයි කාලෙද?

ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම wild life  ගැන ලොකු ආසාවක් තිබුණා. 2003 ඉඳන් තමයි මම කැලෑවේ නතරවෙලා, සත්තුත් එක්ක ජිවිතේ ගෙවන්න පටන් ගත්තෙ. මුලින්ම මම සත්තු ගැන අධ්‍යයනය කළා. ඔවුන්ගේ හැසිරීම චර්යාව මේ හැමදේම මම නිරීක්ෂණය කළා. ඊටපස්සෙ සතුන් ගැන පර්යේෂණ කරන්න පටන්ගත්තා.

කැලෑවෙ සත්තුත්  එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

ඒ ජීවිතේ හරි නිස්කලංකයි. මට කැලේ සත්තු කවුරුත් එකයි. ගස් වැල්වලට පවා වෙන වෙන ම සලකන්න හොඳ නෑ. මේ හැමදේකින්ම තමයි කැලෑව නිර්මාණය වෙලා තියෙන්නෙ. පරිසරය නැත්නම් මිනිස්සුත් නැහැ. මිනිසා නැතිව පරිසරයට පවතින්න පුලුවන් වුණාට පරිසරය නැතිව මිනිසාට පැවැත්මක් නැහැ.

ඔබ සතුන් ගැන පර්යේෂණ කරලා තියනවා කිව්වා. මොනව ද ඒ පර්යේෂණ?

මම ගොඩක්ම පර්යේෂණ කළේ සර්පයන් ගැන. ලංකාව කියන්නෙ සර්ප විශේෂ ගොඩක් ඉන්න රටක්. ඉතින් මේ සර්ප විශේෂවල විවිධත්වය ගැන ගොඩක් අධ්‍යයනය කළා. ඒ නිසාම තමයි මම සතුන් අතරින් සර්පයන්ට වැඩි කැමැත්තක් දක්වන්නෙ.

ඇයි සර්පයන්ට වැඩියෙන් ආදරේ කරන්න හිතුවේ?

සර්පයො කියන්නෙ අහිංසක සත්තු ජාතියක්. ගොඩක් මිනිස්සු අනවබෝධය නිසා උන් මරල දානව. කොහොමත් වනජීවීන්ට ආදරේ නිසා මම උන් වෙනුවෙන් ජීවිතේ පුලුවන් හැමදෙයක්ම කරන නිසා සර්පයන් ගැන මිනිස්සුන්ගෙ තියන බය නැති කළොත් උන් නිකරුණේ මරල දාන එක අඩු කරන්න පුලුවන් වෙයි කියල හිතුව. ඒකයි ටිකක් වැඩිපුර සර්පයන් මිනිස්සුන්ට පේන්න ආශ්‍රය කරන්න පටන්ගත්තෙ.

විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කියන්නේ. එහෙම එකේ කොහොමද ඔයා සර්පයන්ට මේ තරම් සමීප?

ඔය කියමන ඇත්තටම සර්පයන් මරල දාන මිනිස්සු ගැලවිල්ලාවට කියන දෙයක්.  ඒකෙ බෞද්ධ පසුබිම් කථාව මෙහෙමයි. දෙරණ මත තුඹසයා – තුඹස තුළ නාගයා – විස ඝෝර සර්පයා – දැක නහරු මෝඩයා

මහ පොලොවේ ඇති තුඹස කියන්නෙ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ හටගන්න අපේ පංචස්‌කන්ධය නැත්නම් ශරීරය. ඒ ශරීරයේ ඉන්න නාගයා තමයි තන්හාව. විෂඝෝර සර්පයෙකු බදු තන්හාව අත් නොහරින්නා මෝඩයෙකි.

හැබැයි, අපි ගොඩක් වෙලාවට ඕක මිනිස්සු ඇහුවම කියල දෙන්නෙ සර්පයෙක් ඉන්න බව දැනගෙන මෝඩයෙක් එතනට යවන්න එපා. ඒ සර්පයගෙ වටිනකම නොදන්න මෝඩය පොල්ලක් අරන් ඌව මරල දාන නිසා, කියලයි.

පුංචි පුතා අතට සර්පයෙක් දුන්නේ කවද්ද මුලින්ම?

වයස දෙකහමාරක් වගේ ඇති. එදා ගෙවත්තට ආපු ඇහැටුල්ලෙක් මම අල්ලල දුන්න. එයා සර්පය ගත්ත ගමන් වලිගෙ හරියෙන් කටේ දාගත්ත. එයාට සර්පයො අල්ලන්න දුන්නෙත් මින්ස්සුන්ගෙ තියන බය නැති කරන්න පුලුවන් වෙයි කියන අදහසින්. ඒක සාර්ථකයි

සර්පයන්ගෙන් කරදරයක් වෙලා නැද්ද?

තාම නෑ. එයාට යම් තරමක දැනුමක් තියනව විෂ සර්පයින් හඳුනගන්න වගේම සර්පයෙක්ව හසුරුවන්නෙ කොහොමද කියන එක ගැන. අපි කරන දේශන වලදී පවා ඔහු තමයි සර්පයින් සමඟ මිනිස්සු ඉදිරියට යවන්නෙ. ඒක මිනිස්සුන්ගෙ හුඹස් බිය නැත් කරන්න ගොඩක් උදවු වුණා.

ජීවිතේ සර්ප විමානයක් වගේද?

සමහර කාල වලට ගෙදර නං ඒ වගේ. කොළඹ අවට ගෙවල් තාප්ප වලින් ආවරණය වෙලා. එහෙම ගේකට සර්පයෙක් ඇතුළ්වුණාම ඒ සතාට නැවත් එළියට යන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවල www.wildreach.com වෙබ් අඩවිය බලල ඒ ගෙවල් වල අය අපිට කතා කරනව. පුලුවන් වෙලාවක නම් මම හෝ වෙන කෙනෙක් එතනට ගිහින් බලල නිර්විෂ සර්පයෙක් නම් ඒ අවටම නිදහස් කරනව. විෂ උන්ට ඒ අවට පරිසරයේ පැවැත්මක් නෑ කියල තේ‍රුණොත් ඒ සතාගේ ජීවිතේ ගැන හිතල අපි උන්ව අල්ලගෙන එනව. එහෙම අල්ලොගන්න සර්පයො සුදුසු තැනකට නිදහස් කරන තුරු ගෙදර තමයි තාවකාලිකව තියාගන්නෙ.

සර්පයන්ගෙන් කවදාවත් හානියක් වෙලා නෑ?

කීප වතාවක්ම සර්පයින් සපා කාල තියනව. නමුත් ලොකු හානියක් නෑ.

මේ කැලෑවෙ ජිවිතේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති?

කැලෑවෙ ගතකරන හැම මොහොතක්ම මගෙ ජිවිතේට වැදගත්. අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියනවා. දවසක් උඩවලවෙදි ඡායාරූපයක් ගන්න ගිහින් අලියෙක් ගහලා තියනවා මට. එදා නම් ජිවිතේ බේරුණේ අනූ නවයෙන්. ආයිමත් දවසක් රිවස්ටර්න් පැත්තෙ මිනිස්සු ටිකක් නයෙක්ව මරන්න ගියාම ඒක නවත්තන්න ගිහින් ඒ මිනිස්සු අපිට ගහන්න ආවා.

ඔබේ වෘත්තියත් වන සතුන්  හා සම්බන්ධයිද?

නැහැ. මගේ වෘත්තිය ඊට හාත්පසින්ම වෙනස් එක්ක. මගේ වෘත්තිය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයත් එක්ක බැඳිලා තියෙන්නෙ. “Lanka e work” කියලා මට තොරතුරු තාක්ෂණ සේවා ආයතනයක් තියනවා. මගේ තියන වෘත්තීය දැනුමත් මම සතුන්ගේ සුරක්ෂිතතාවයට උදව් කරගන්නවා.

කොහොමද මේ හැමදේටම වෙලාව හොයාගන්නෙ?

වෙලාව කොහොමත් තියනවා. ඕනෙම කෙනෙක්ට ඕනෙම දෙයක් කරන්න වෙලාව තියනවා. ඒ වෙලාව කළමනාකරණය කරගන්නයි ඕනේ. කැලේ ජිවිතේ වගේම මගේ වෘත්තිය ජීවිතේට විතරක් නෙමෙයි මගේ පවුලෙ අය එක්ක ඉන්නත් මට වෙලාව ඕනේ තරම් ‍තියෙනවා.

“Back to green” කියන්නෙ මොකක් ද?

ලංකාව වටේ සුදුසු තැන් බලලා කාලාන්තරයක් පවතින්න පුළුවන් ගස් සිටුවීමේ ව්‍යාපාරයක් තමයි “Back to green” කියන්නෙ. විශේෂයෙන් අපි මේකෙදි අවධානය යොමු කරන්නෙ ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්වෙලා තියන ගහකොල ගැන. මේ වෙද්දි ගස් 28,000ක් විතර සිටවා අවසන්.

උපුටාගැනීම: රැස පුවත්පතෙන්


News Articles
Latest Videos
Most Popular Post