News Line| Off Air| Games
Generic placeholder image

Nov
20

මට ප්‍රශංසා කළ, නින්දා කළ සියළු දෙනාටම ස්තුතියි – අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ රනිල් කියයි

1368 Views


මට ප්‍රශංසා කළ, නින්දා කළ සියළු දෙනාටම ස්තුතියි – අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ රනිල් කියයි

තමන් හෙට (21) දිනයේදි ජනාධිපතිවරයා හමුවි සිය ඉල්ලා අස්විම සම්බන්ධයෙන් දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එතුමාට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන බව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අගමැතිවරයා කියා සිටියා.

අගමැතිවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්,

පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා අප කටයුතු කළා. ඒ වගේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කළා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලූ ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළා. පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකි වීම ඉන් ලද එක් ප්‍රතිඵලයක්.

අප කළ ඒ කටයුතු පිළිබඳව නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දේවි.

මම ඊයේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.

පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත්, රාජපක්‍ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා.

මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට ජනාධිපතිතුමාට දැනුම් දෙනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා.

මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමනවා.

මගේ රාජකාරි කටයුතු සඳහා සහය වුණු සියල්ලටත් කෘතවේදීත්වය පුද කරනවා.


News Articles
Latest Videos
Most Popular Post