News Line| Off Air| Games
Generic placeholder image

Sep
22

“සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය දෙන්න.” – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

535 Views


“සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ අනුමැතිය දෙන්න.” – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධිය හැදෑරූ දිල්මි මල්කාන්ති සූරියාරච්චි නමැති ශිෂ්‍යාවට වෛද්‍ය වෘත්තියට පිවිසීම සඳහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට නීතියෙන් කිසිදු බාධාවක් නැතැයි අභියාචනාධිකරණය ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද ඊයේ (21 වැනිදා) තහවුරු කළේය.

එම සිසුවිය කළ ඉල්ලීමකට අනුව ඒ අවස්‌ථාව ලබා නොදීමෙන් ඇයට සිදුවූ හානියට සහ පාඩුවට වන්දියක්‌ වශයෙන් රුපියල් ලක්‍ෂයක්‌ ඇයට ගෙවිය යුතු යෑයි ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ එම සිසුවියගේ වාසියට අභියාචනාධිකරණය විසින් 2017 ජනවාරි 31 දා දෙන ලද නඩු තීන්දුවට විරුද්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ ඇපෑල පිළිබඳ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළ අතර ඊට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ ඇපෑල නිෂ්ප්‍රභ කෙරිණි.

එම සිසුවිය මුලින්ම අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කරමින් ඉල්ලා සිටියේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදැරූ තමාට වෛද්‍ය වෘත්තියට පිවිසීම සඳහා ලියාපදිංචිවීමට ඉඩ දෙන ලෙසට නියෝග කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කරන ලෙසය.

ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවට අනුව එම සිසුවියට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවස්‌ථාව ලැබී ඇත. සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි හැදැරූ සෙසු අයට ද වෛද්‍ය සභා පනතේ 29 (2) වගන්තිය යටතේ තමන් ලබා ඇති සුදුසුකම් අනුව ඒ සඳහා ඉල්ලුම් කළ හැක.

ඊවා වනසුන්දර, ප්‍රසන්න ජයවර්ධන සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඇපෑල විභාග විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අතරමැදි පාර්ශවකරුවකු වශයෙන් මෙම නඩුවට ඇතුළු වී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට එම සිසුවිය කර තිබූ ඉල්ලීමට විරුද්ධ විය. ඒ සම්බන්ධයෙන් දරන ස්‌ථාවරය තහවුරු කිරීම සඳහා නීතිඥයකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි.

මෙම නඩු විභාගයේදී මුල සිටම පෙත්සම්කාර සිසුවිය වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ද සයිටම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ පයිස්‌ මුස්‌තාපා මහතා ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා, සම අධිනීතිඥ නවීන් මාරපන, රවීන්ද්‍රනාත් දාබරේ යන මහත්වරු ද පෙනී සිටියහ.

(inforsrilankanews ඇසුරෙන්)


News Articles
Latest Videos
Most Popular Post