News Line| Off Air
Generic placeholder image

Nov
2

හොද පර්ෆියුම් එකක් තෝරාගන්නේ කොහොමද?

5097 Views


හොද පර්ෆියුම් එකක් තෝරාගන්නේ කොහොමද?

පර්ෆියුම් කියන්නේ අද කාලේ විශේෂයෙන් තරුණ ගැහැණු පිරිම දෙපාර්ශ්වයටම ඉතාම වැදගත් දෙයක්. නමුත් පර්ෆියුම් තෝරා ගන්න කොට තමන්ට ගැළපෙන හරි විදියේ එකක් තෝරාගත යුතුයි. පර්ෆියුම් එහෙම නැත්නම් සුවද විලවුන් වුණත් පාවිච්චි කරන්න නිවැරදි ක‍්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැන දැන ගන්න මේ කරුණු ටික බලන්න.

01. එක එක සුවද පර්ෆියුම් වර්ග

එක එක විදියේ සුවද විලවුන් තියෙනවා. ඇත්තටම මේ දේවල් ගැන ගැඹුරට හදාරන්න ඕන නැහැ. හැබැයි මූලික දැනුමක් තියෙන එක වටිනවා.

විවිධ සුවඳ වර්ග ගත්තොත්, ඇත්තටම සුවඳ විලවුන් වල තියෙන්නේ මූලික සුවඳ වර්ග කීපයයි. ඒකට තමයි Fragrance Wheel කියලා කියන්නේ. ඔය මූලික සුවඳ වර්ග යටතට තමයි අපි වෙළෙඳපොළේ මිලදී ගන්න යන විවිධ සුවඳ ජාති තියෙන විවිධ සෙන්ට් වර්ග අයිති වෙන්නේ. හැබැයි තමන්ට ගැලපෙනම සුවඳ කාණ්ඩය මොකක්ද කියලා තේරුම් ගත්තොත්, එතැනින් එහාට ඒ සුවඳ කාණ්ඩය යටතේ සෙන්ට් එකක් ‍තෝරගන්න ලේසියි. උදාහරණයක් විදියට පිරිමි කෙනෙක් ගොඩක් කැමති වෙන්න පුලුවන් Woody හෝ Mossy Woods වගේ සුවඳ කාණ්ඩයකට. එතකොට කාන්තාවක් නම් වැඩි වශයෙන් Floral හරි Soft Floral හරි සුවඳ කාණ්ඩයකට කැමති වෙන්න පුලුවන්.

02. විවිධ පර්ෆියුම් ආකාර

ඔබ දැකලා ඇති පර්ෆියුම් කුප්පි වල පොඩියට ගහලා තියෙනවා Eau de Parfum නැතිනම් Eau de Toilette වගේ ඒවා. කවදාවත් මේ දේවල් වල තේරුමක් තියෙනවා කියලා හිතාගෙන බලලා නැහැනේ, නේද? හැබැයි ඔය වචන වල තේරුමක් තියෙනවා. ආන්න ඒ තේරුම තේරුම් ගන්නවා කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය අනුව පර්ෆියුම් එකක් ‍තෝරගන්න හැකියාව ලැබෙනවා කියන එක.

Parfum

මේ තමයි පිරිසිදු, සාන්ද්‍ර සුවඳ විලවුන් මිශ්‍රණය. මේ ඉහළ සුවඳ විලවුන් සාන්ද්‍රණය (15% සිට 40% දක්වා) නිසා Parfum කියලා ගහලා තියෙන සුවඳ විලවුන් වර්ගයක සුවඳ ඇ‍ඟේ ‍රැඳිලා තියෙනවා සාමාන්‍යයෙන් පැය 6-8 අතර. ඒ තමයි දිගම වෙලාව. මෙම පර්ෆියුම් වල ඇල්කොහොල් සාන්ද්‍රණය ඉතාමත් අඩුයි. ඒවගේම මේවගේ ගාණත් ඒ විදියටම වැඩියි.

Eau de Parfum

ඊළඟට වැඩියෙන්ම සුවඳ විලවුන් සාන්ද්‍රණය තියෙන වර්ගය තමයි Eau de Parfum (EDP). මෙහි සාමාන්‍යයෙන් සුවඳ විලවුන් සාන්ද්‍රණය 15% ත් 20% ත් අතර වගේ වෙනවා. සාමාන්‍යයෙන් සිරුරේ පැය 4-5 ක් වගේ කාලයක් සුවඳ ‍රැඳිලා තියෙනවා. එදිනෙදා පාවිච්චියට මේ වර්ගයේ විලවුන් ඉතා හොඳින් ගැලපෙනවා.

Eau de Toilette

මේක තමයි හුරු පුරුදු අනෙක් වර්ගය. Eau de Toilette හෙවත් EDT වල සුවඳ විලවුන් සාන්ද්‍රණය 5% ඉඳන් 15% දක්වා තියෙනවා. සාපේක්ෂව මිලෙන් අඩු නිසා බොහෝ වශයෙන් පාවිච්චි වෙනවා. සාමාන්‍යයෙන් මෙහි සුවඳ ‍රැඳී තියෙන්නේ පැය 2ක් 3ක් වගේ තමයි. සමහරු කියනවා දිවා කාලය සඳහා වඩාත් සුදුසු සුවඳ විලවුන් වර්ගය වෙන්නේත් මේක කියලා.

Eau de Cologne

ඕඩිකොලෝන් කිවුවහම කවුද නොදන්නේ? ඇත්තටම මේ Eau de Cologne නැතිනම් EDC කියන්නේ සෑහෙන්න අඩු සුවඳ විලවුන් සාන්ද්‍රණයක් තියෙන වර්ගයක්. මේකේ සුවඳ විලවුන් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් 2% ත් 4% ත් අතර ප්‍රමාණයක් වෙන්නේ. ගාණ අතින් බැලුවත් අඩුයි. සුවඳ උපරිම පැයක් හෝ දෙකක් ‍රැඳිලා තියෙයි. ගොඩක් වෙලාවට ඕඩිකොලෝන් පාවිච්චි වෙන්නේ සුවඳ විලවුන් වර්ගයක් විදියටම කියන්න බෑ.

03. ඔබ පර්ෆියුම් වර්ග කීයක් ගාණවද?

ගොඩක් දෙනෙක් ගාන්නේ එක පර්ෆියුම් එකයි. ඒක හැමතැනටම ගාලා ඉවර වුනාට පස්සේ කඩේට යනවා තව එකක් ගන්න.ඊටපස්සේ බෝතල් වල සුවද බලලා හිතට හරියන සුවඳ එකක් ගන්නවා. හැබැයි එහෙම මාස දෙකෙන් දෙකට වගේ සුවඳ තියෙන සුවඳ විලවුන් වර්ග පාවිච්චි කරනවා කියන්නේ තමන්ගේ සුවඳ විලවුන් මගින් හැදෙන අනන්‍යතාවය යම් ප්‍රමාණයකට දුර්වල වෙන එක. පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරලා තමයි තමන්ට හරියනම සෙන්ට් එක හොයාගන්න ඕන.හොඳම දේ තමයි අර උඩින් කිවුව විදියට තමන්ට ගැලපෙනම සුවඳ විලවුන් කාණ්ඩය හොයාගෙන, ඉන් පස්සේ ඒ කාණ්ඩයේ හරි ඒ ආශ්‍රිත අනික් කාණ්ඩයන්ගේ හරි තියෙන සුවඳ විලවුන් වර්ග පරීක්ෂා කරල හොඳම එකක් ‍තෝරාගන්න එක.

සමහරු දවල් වෙලාවට එක පර්ෆියුම් වර්ගයක්, රෑ පාටියකට යනවා නම් තව වර්ගයක් පාවිච්චි කරනවා.තවත් සමහරු එදිනෙදා පාවිච්චියට සාමාන්‍ය විදියේ පර්ෆියුම් එකක්, විශේෂ අවස්ථාවකට මිලෙන් අධික වඩාත් හොඳ වර්ගයක් පාවිච්චි කරනවා. ඒක හොඳයි. හැබැයි මේ පර්ෆියුම් වර්ග දෙකේ සුවඳ අඩු තරමින් එක් කාණ්ඩයකටවත්, එහෙම නැතිනම් එකිනෙකට ආසන්න කාණ්ඩ දෙකකටවත් අයිති වෙනවා නම් ඒක වඩා හොඳයි.

04. පර්ෆියුම් මිලදී ගන්නකොට ගාණ ගැන ඔබ හිතන්නේ කොහොමද?

පර්ෆියුම් ගන්න ගියහම පොදුවේ අපිට දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි බ්‍රෑන්ඩඩ්, එහෙම නැතිනම් වඩාත් මිලෙන් අධික සුවඳ විලවුන් වර්ග වල දැනෙන්නේ බොහොම සියුම් සුවඳක්.මිලෙන් අධික සුවඳ විලවුන් වර්ගයක සුවඳ අපේ ඇ‍ඟේ සුවඳත් එක්ක ක්‍රමයෙන් මිශ්‍ර වෙනවා. ඉන් පස්සේ දවසේ කාලය ගතවෙනකොට බොහොම අපූරු, ඒ වගේම එක් එක් පුද්ගලයාට සුවිශේෂී ගන්ධයක් ලබාදෙනවා. හැබැයි ලාබ සුවඳ විලවුන් වර්ගයක සුවඳ නාහේ කඩාගෙන යන තරම් සැරයි වගේම ඒ සුවඳේ කිසිම වෙනසක් වෙන්නේත් නෑ.

හොඳ වර්ගයේ සුවඳ විලවුන් ටිකක් ගණන් වැඩියි තමයි. හැබැයි එහෙම සුවඳ විලවුන් වර්ගයකින් අපිට බොහොම අපූරු අනන්‍යතාවයක් නිර්මාණය කරලා දෙනවා. හැබැයි සමහර අයට මේ වෙනුවෙන් ගොඩක් ලොකු වියදමක් කරන්න බැරිවෙන්න පුලුවන්. එහෙම හිතුනොත් වෙළෙඳපොළේ තියෙනවා සාමාන්‍ය මිලට ගන්න පුලුවන් බොහොම හොඳ සුවඳ විලවුන්.

05. පර්ෆියුම් එකක් තෝරාගන්නේ කොහොමද?

ගොඩක් අය පර්ෆියුම් ‍තෝරන්න ගිහින් කරන්නේ ‍රැක් එකේ තියෙන පර්ෆියුම් බෝතල් දහයක් හරි විස්සක් හරි ස්ප්‍රේ කර කර සුවඳ බලන එක. ඒක වැරදියි. විශේෂයෙන් ගත්තොත් අලුතින්ම තමන්ට හරියන පර්ෆියුම් එකක් හොයන කෙනෙක්ට මේ සෙන්ට් ෂොපින්ග් ‍ටුවර් එක දවස් දෙකකටවත් දාගන්න වෙනවා. ඒකට හේතුවක් තියෙනවා.

පර්ෆියුම් වල සුවඳ චෙක් කරන්න බෝතලේ ඉඹලා හරියන්නෙ නෑ. සමහර ලොකු ෂොප් වල නම් සෙන්ට් ටෙස්ටර්ස් කියලා පොඩි කඩදාසි තීරු තියෙනවා. ඒකකට ටිකක් ස්ප්‍රේ කරලා, පොඩ්ඩක් වේලෙන්න දීලා සුවඳ බලන්නයි තියෙන්නේ. නැතිනම් අතේ මැණික් ක‍ටුවට වගේ සුවඳ විදගෙන, විනාඩි දහයක් පහළොවක් තමන්ගේ අනික් ෂොපින් වැඩ කරලා මැණික් ක‍ටුවෙන් එන සුවඳ බලන්න පුලුවන්. අන්න ඒක තමයි හරිම සුවඳ. හැබැයි ඉතින් සුවඳ විලවුන් කීප වර්ගයක් ටෙස්ට් කරලා බැලුවට පස්සේ අපිට එක එක සුවඳේ සුවිශේෂී වෙනස්කම් හඳුනාගන්න පුලුවන් හැකියාව ටිකක් දුර්වල වෙනවා. ආන්න ඒකයි සුවඳ විලවුන් ගණනාවක් ටෙස්ට් කරනවා නම් ඒ අතර පරතරයක් තියාගන්න ඕන කියන්නේ.

06. පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?

සුවඳ විලවුන් ගාන්න ඇ‍ඟේ හොඳම තැන් ටිකක් තියෙනවා. බෙල්ල, යටි හනුව පහළ, උරහිස්, පපුව මැද, වැලමිටේ ඇතුළත, මැණික් ක‍ටුව මත හෝ එතැනින් මඳක් ඉහළ පර්ෆියුම් ගහගන්න වඩාත් සුදුසුයි. මේ තැන් වලින් එකක හෝ දෙකක සුවඳ විලවුන් ඉස ගැනීම ප්‍රමාණවත්.

අනික පර්ෆියුම් ගහන්න ඕන ඇඳුමට නෙවෙයි, සමට. ඒකත් මතක තියාගන්න ඕන.වැදගත්ම දේ පර්ෆියුම් පාවිච්චි කරනකොට තියෙන්න ඕන මූලික කොන්දේසිය තමයි මනා ශාරීරික පිරිසිදුතාවය පවත්වාගන්න එක. එහෙම පිරිසිදුකමක් ශරීරයේ තියෙනකොට තමයි අර ගහපු පර්ෆියුම් එක ඇ‍ඟේ දාඩිය සුවඳත් එක්ක මිශ්‍ර වෙලා අපූරු සුවඳක් නිර්මාණය වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post