20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම ඊයේ රාත්‍රී පැවැත්වුණා.
එහි තෙවැනිවර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වුණා.
එයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළා.
මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
ඩයනා ගමගේ, නසීර් අහමඩ්, ෆයිසාල් කාසීම්, එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික් යන සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිස එලෙස ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළා.
ඔවුන් අතරින් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
කෙසේ වෙතත් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළේ, රජයෙන් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවන බවයි මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ.
ඡන්දය විමසන අවස්ථාවේ හිටපු ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා සභා ගර්භයේ නොසිටි අතර පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත විවේචනය කරමින් අදහස් දැක්වූ විජේදාස රාජපක්ෂ මහතා ද ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.