මේ දිනවල ලෝකයේ රටවල් රැසක මෙන්ම අපේ ශී‍්‍ර ලංකාවේත් පැතිර යමින් පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය අප කාගේත් ජීවිත වලට තර්ජනයක් වී තිබෙනවා. දිනෙන් දින වැඩි වන ආසාධිතයින් අතරට පසුගිය දිනයන් තුළ ජා – ඇල, සුදුවැල්ල ප‍්‍රදේශය සම්බන්ධයෙන් නිරෝධායන මෙහෙයුම් වල යෙදී සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන්ටද වෛරසය ආසාධනය වීම මහත් වූ ඛේදවාචකයක්.
මෙම සිද්ධියෙන් පසු නාවික සෙබළුන් කළ කැපකිරීම අමතක කළ මිනිසුන් සම්බන්ධයෙන් ජනපි‍්‍රය ගායන ශිල්පී දිමන්ක වෙල්ලාලගේ තම ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් පළ කර තිබුණා.
“මම මේ කතා කරන්නේ දිමංක වෙල්ලාලගේ කියන ගායන ශිල්පියා විදියට නෙමයි. 2008 ඔක්තෝබර් 20 වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී, වසර කිහිපයක් එහි සේවය කර ජීවිතයට, ජීවත් වීමට පන්නරයක් ලබා ගත් පුද්ගලයෙක් විදියට. මම දන්නවා නාවික හමුදා සෙබලෙක් විදියට බැදුණු දිනයේ සිට පුහුණු කාලය අවසන් වීම දක්වා විදින අනේක දුක, කන කට්ට. එය සාමන්‍ය පුද්ගලයෙකුට විදින්න බැරි බව මම අත්දැකීමෙන් දන්නවා. ඒක ත්‍රිවිධ හමුදාවේ සෑම සෙබලෙකුටම පොදුයි. අවසානයේ ඉන් එළියට එන්නේ ඕනෑම අවස්ථාවක රට ජාතිය වෙනුවෙන් තම ජීවිතය වුවද කැප කිරීමට හැකි පුදුමාකාර ජව සම්පන්න පුද්ගලයෙක්, සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දැඩි විනයක්, දරා ගැනීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක්. රටේ ඕනෑම ආපදා තත්වයකදී, යුද්ධයකදී, ස්වාභාවික ව්‍යසනයකදී මේ ශක්තිමත් “මිනිසා” රටවැසියාට පිහිට වෙන්න ඉදිරියට එන්නේ ඒකයි. ලෝකයම පීඩාවට පත් වෙලා ඉන්න මේ වෙලාවෙත් අපේ මිනිසුන්ට උදවු කරන්න ආවේ මේ මේ උදාර මිනිසුන්.. ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ සිදුවීමේදි එම මෙහෙයුම සදහා ක්‍රියා කරේ නාවික හමුදාවේ මා හොදින් හදුනන මගේ මිත්‍රයෝ පිරිසක්. මා පෞද්ගලිකව දන්නවා ඔවුන් ඒ මෙහයුමේදි කොතරම් කැප කිරීමක් කරාද කියලා. ඔවුන් මට පෞද්ගලිකව එක දිනක් ප්‍රකාශ කරා ” අපිට කොරෝනා හැදුනත් කමක් නෑ මේ පිරිස ඉක්මනින් හොයාගන්න ඕන, මේක ඉක්මනින් මේ රටෙන් තුරන් කරන්න ඕන” කියලා. මම දන්න එක් මිතුරෙක් ඔහුගේ මාස ගණනක් වයසැති දියණිය පවා දකින්නේ නැතුව ඉතාම ලොකු කැප කිරීමකින් මේ මෙහෙයුමට දායක වුණා. ඔවුනුත් හිත් පිත් ඇති මිනිසුන්.. ඔවුන් මේ කැප කිරීම කරන්නේ අප වෙනුවෙන්, රට වෙනුවෙන්. ඉතින් එහෙම සේවයක් කරන ඔවුන්ට මේ දිනවලදී සමාජ මාධ්‍ය වලින් එල්ල කරන චෝදනා, මඩ ප්‍රහාර දැක්කාම මට ඇති වුණේ ලොකු වේදනාවක් සහ කළකිරීමක්.. ඔවුන්ට එය කෙසේ දැනෙනවා ඇතිද? අපි කළගුණ නොදත් ජාතියක් ද? එවැනි පොස්ට්ස් දකින විට මට ඇතිවූ වේදනාවම ඔබට දැණුනා ද? එසේ දැනුණේ නැත්නම් ඔබ ඔබේ හදවතින් ම අසා බලන්න..ඔබේ මනුෂ්‍යත්වය ඇත්තේ කොහිද කියා? එවැනි කළගුණ නොදත් ජාතියකට මේ සොබදහම වුවත් උදවු කරාවි දෝ කියා…”
-දිමංක වෙල්ලාලගේ-
උපුටා ගැනීම – මුහුණු පොතෙන්