News Line| Off Air| Games
Generic placeholder image

May
17

ලෝක අධි රුධිර පීඩන දිනය අදයි

334 Views


ලෝක අධි රුධිර පීඩන දිනය අදයි

ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී ඇත.

2022 වර්ෂයේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව වනුයේ,” දිගුකල් ජීවත් වන්නට ඔබේ රුධිර පීඩනය නිවැරදිව මැන පාලනය කරගන්න ” යන්නයි. අධි රුධිර පීඩනය වැළැක්වීම පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණෙන් ලෝක අධි රුධිර පීඩනය පිළිබද එකමුතුව විසින් ලෝක අධි රුධිර පීඩන දිනය සෑම වසරකම මැයි 17 වන දින සමරනු ලබයි.

අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මණ්‍ය වීම, අන්ධභාවය සහ රුධිර වාහිනී ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බරපතල රෝගී තත්ත්වයකි. ලොව පුරා නොමේරූ මරණ සදහා වැළැක්විය හැකි අවදානම් සාධකයක් ලෙස අධි රුධිර පීඩනය හැදින්විය හැකිය.

ලොව පුරා බිලියන 1.4 ක ජනතාවකට අධි රුධිර පීඩනය ඇති බව ඇස්තමේන්තු කර ඇත. නමුත් එය පාලනය කර ඇත්තේ 14%ක් පමණි. කෙසේ වෙතත් ලාභදායී ප්‍රතිකාර විකල්ප පවතී. අධි රුධිර පීඩනය හෘද නාල රෝග සදහා ප්‍රධාන අවදානම් සාධකයක් වන අතර එය ශ්‍රී ලංකාවේ සමස්ථ මරණවලින් තුනෙන් එකක් එනම් 34%ක් පමණ වෙයි. හෘද රෝග අතරින් ආසන්න වශයෙන් 47%ක්ද, ආඝාත අතුරින් 56%ක්ද, අධි රුධිර පීඩනය හේතුවෙන් හටගන්නා බව සොයාගෙන ඇත.

මෙම වසරේ ලෝක අධි රුධිර පීඩන දිනයේ තේමාව මගින් අවධාරණය කරන්නට යෙදෙන්නේ වැරදි රෝග විනිශ්චය සහ නුසුදුසු ප්‍රතිකාර සදහා හේතු විය හැකි සාවද්‍ය රුධිර පීඩනය මැනීම පිළිබදව ප්‍රජාව තුළ සහ සෞඛ්‍ය සේවකයින් අතර දැනුවත්භාවය ඇති කිරීමයි.

අධික රුධිර පීඩනය තත්ත්වයේ ව්‍යාප්තිය නිවැරදිව පාලනය කිරීම, ප්‍රතිකාර හෝ ඖෂධ මගින් පමණක් සිදුකරගත නොහැක. ඒ සදහා නිවැරදි ජීවන රටාවක් පවත්වාගැනීම වැදගත් වෙයි. අධි රුධිර පීඩනය සදහා ප්‍රධාන අවදානම් සාධක වනුයේ අධි ලුණු පරිභෝජනය, දුම්පානය, මත්පැන් භාවිතය, කායික ක්‍රියාශීලී භාවයේ මද බව, අධික බර / තරබාරු බව, ජානමය නැමුරුතාවය සහ මානසික ආතතිය ආදියයි.

අධි රුධිර පීඩනය වළක්වාගැනීමට නම්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් එනම් අධික ලුණු සහිත ආහාර, සැකසූ ආහාර, කල් තබාගන්නා ද්‍රව්‍ය සහිත ටින් මාලු සහ අච්චාරු වැනි ආහාර ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙයි. එමෙන්ම දුම්පානය සහ මත්පැන් පානය නතර කිරීම, ශාරීරික ක්‍රියාකාරකම් වැඩිකිරීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම, නිවැරදි ක්‍රියා පටිපාටියක් භාවිතා කරමින් වසරකට දෙවරක්වත් රුධිර පීඩනය පරීක්ෂා කිරීම වැදගත් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post