News Line| Off Air
Generic placeholder image

Apr
22

චීනය එක්ක සැඟවුණු යුද්ධය

25 Views


චීනය එක්ක සැඟවුණු යුද්ධය

වර්තමාන ලෝකය පුරා විවිධ වර්ගයේ යුද්ධ ගණනාවක් දක්නට ඇත. විවිධ වර්ගයේ යුද්ධ යනුවෙන් හැදින් වූයේ ගැඹුරු අර්ථයක් සහිතව ය. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් බැලූ බැල්මට පේන යුද්ධ සහ සැඟවුණු යුද්ධ ද ඇති බව ඔබට පෙන්වා දීමටය. ආයුධ සන්නද්ධ ව කරන යුද්ධ සියල්ලන්ටම පැහැදිලිව පෙනේ. ඒවායේ ප්‍රතිවිපාකද අඩු වැඩි වශයෙන් ලෝකයම බුක්ති විදිමින් සිටී. අද අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරන අනීතික ප්‍රහාරය ඉන් එකකි. එසේම රුසියාව යුක්‍රේනයට එරෙහිව කරන යුද්ධයද ලෝකයට යම් ප්‍රමාණයකට ආර්ථික බලපෑම් සිදු කර ඇත. මේවා හුදු ආයුධ සන්නද්ධ ගැටුම් ය, ප්‍රහාරයන් ය.

මේ මතුපිටින් පෙනෙන ආයුධ සන්නද්ධ ප්‍රහාරයන්ට අමතරව බැලූ බැල්මට පේන්නේ නැති යුද මෙහෙයුම් ද ලෝකය තුළ ක්‍රියාත්මක වේ. 1945දී නාසි ජර්මනියේ පරාජයෙන් පසු අමෙරිකාව සහ රුසියාව අතර ඉතා දිගු කලක් ” සීතල යුද්ධයක් ” පැවති බව අපි දනිමු. මේ සීතල යුද්ධයේදී අමෙරිකාව රුසියාව සමග සෘජුව සටන් වැදුනේ නැති බව ද සත්‍යයකි. නමුත් එදා මේ රටවල් ප්‍රොක්සි යුද්ධ නැතිනම් කුඩා කණ්ඩායම් යොදා විවිධ ගැටුම් නිර්මාණය කර පවත්වා ගෙනගිය බව ඉතා පැහැදිලිය. එහිලා විශේෂයෙන් කොරියානු සහ වියට්නාම් ගැටුම් ප්‍රමුඛ වූ‍ බව අපි දනිමු. ප්‍රොක්සි ගැටුම් වලින් ඔබ්බට යමින් අමෙරිකාව සහ රුසියාව විවිධ සංවිධාන ගතවීම් හරහා ද සිය බලය තහවුරු කරගැනීමේ “ සීතල යුද්ධයක” නිතර වූ බව අවිවාදාත්මකය.

විශේෂයෙන්ම අමෙරිකාව සහ රුසියාව න්‍යෂ්ටික බලය අත්කර ගැනීමේ සිට සඳ මත පා තැබීම දක්වා ” අභ්‍යවකාශ ” සීතල යුද්ධයක ද නිතර විය. නමුත් 1990දී පමණ සෝවියට් සමූහාණ්ඩුවේ බිඳ වැටීම සිදු වූ බව අප දනිමු. ඒ සමඟ ම ලෝක බල තුලනය ද බිඳ වැටුණු බව සත්‍යයකි. ලෝකයේ බලය “ඒකධ්‍රැවීකරණයකට” ලක් වෙමින් අමෙරිකාව ලෝක පොලිස්කාරයා වීමට පටන් ගත් ආකාරය ගෙවුණු දශක කිහිපය තුළ ලෝක ආර්ථිකය විමසීමේදී පැහැදිලි කරගත හැක. සැබෑවට ම ඒකධ්‍රැවියකරණයට ලක් වෙමින් පැවති යුද, දේශපාලන සහ ආර්ථික බලය බහුධ්‍රැවීයකරණයට ලක්වූයේ කුමන රටක් නිසා ද? ඒ චීනය නිසා බව අවිවාදාත්මකයි.

සරලව සිංහලෙන් කිවහොත් අද එක රටකට ලෝකය තුළ යුද්ධ ආධිපත්‍ය පමණක් නොව ආර්ථික බලය ද හඹාගෙන යා නොහැකි බව අපි තේරුම්ගත යුතු වෙමු.

විශේෂයෙන් චීනයේ ගමන විග්‍රහ කිරීමේදී ඒකධ්‍රැවීය බලය අද අවසන් වී ඇත. යනුවෙන් ලිවිය හැකියි. අමෙරිකාව තනාගන්නට වෙර දැරූ ” ඒකධ්‍රැවීය බලය ” දැන් දිය වෙමින් පවතී. ඒ බව තේරුම් ගැනීමට නම් චීනය විමසිය යුතුම ය. අපේ රටේ දේශපාලඥයෙකු සේම ආර්ථික විද්වතෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා මෙරට මුදල් ඇමති ලෙස චීනයේ සංචාරයක නිරත වී ඇත. ඒ අදින් වසර 62කට පමණ පෙර ය. 1964දී චීනයට ගිය ආචාර්ය එන්.එම්. පෙරේරා එදා කියූ ප්‍රකාශයක් බලාගෙන සිටියදී ම සත්‍යයක් විය. ඔහු කීවේ තව අවුරුදු 25ක් යනවිට චීනය ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට වන බවයි. මේ අනාවැකිය මාර්ටින් වික්‍රමසිංහයන් සිය ” චීනයේ පිබිදීම” ග්‍රන්ථයේ සදහන් කර ඇත. මාර්ටින් වික්‍රමසිංහ යනු සිංහලයේ මහාගත්කරු බව අවිවාදාත්මක ය. ඔහු ද 1959දී චීන මහජන සමූහාණ්ඩුවේ දසවැනි සංවත්සර උලෙළට ආරාධනා ලැබ එහි ගිය අයෙකි. සැබෑවට ම චීනය අද මේ අනාවැකියෙන් පසු දශක 06ක් පමණ ගතකර ඇත. සැබෑවට ම චීනය අද ලෝක බලතුලනයේ තීරණාත්මක සාධකය වී ඇති බව චීනයට එරෙහි ” ප්‍රොක්සි මාධ්‍ය මෙහෙයුම ” සාක්ෂි දරමින් සිටී. ලෝකය සමහර ජාත්‍යන්තර මාධ්‍ය දෙස පරිස්සමින් බලන කළ ‘ චීනයට එරෙහි සීතල යුද්ධයක් ‘ ඇති බව ඔබට අවබෝධ කරගත හැකි වනු ඇත. ඒ සීතල යුද්ධයට සැබෑ හේතු මොනවාද?

2015 සිට 2025 වන විට චීනය අත් කරගෙන ඇති ජයග්‍රහණ විමසීමේදී චීනයට එරෙහි මාධ්‍ය ප්‍රොක්සි මෙහෙයුම තේරුම්ගත හැකි ය.

අංක එක, අද වනවිට චීනය ලෝකයේ උසස් ම තාක්ෂණික නිෂ්පාදනවල අයිතිය හිමි කරගෙන තිබේ. ඊට කදිම උදාහරණය විදුලි වාහන සහ බැටරි නිෂ්පාදනයයි. මේ වනවිට ගෝලීය නිෂ්පාදනයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට චීනය සමත් ව ඇත.

විශේෂයෙන් දරිද්‍රතාව තුරන් කිරීම සේ ම හරිත බලශක්තිය සහ අධිවේගී මාර්ගවල ද අතිදැවැන්ත විප්ලවයක් මේ වනවිට චීනය තුළ සිදුව අවසන් ය. අධිවේගී දුම්රිය මාර්ග ජාලය පමණක් කිලෝ මීටර 40,000 ඉක්මවා සංවර්ධනයට ලක් කර තිබීම ආශ්චර්යජනකය. සැබෑවට ම චීනය තාප බලය අතහරිමින් ක්‍රමයෙන් පුනර්ජනනීය බලශක්තිය අත්පත් කර ගනිමින් සිටින බව දැන් ලෝකයට ම රහසක් නෙවෙයි. මේ සියල්ලට ම වඩා සමහර බටහිර රටවලට ඇති ප්‍රධාන ම අභියෝගය වනුයේ චීනය අභ්‍යවකාශය ගවේෂණයට එක්වීමයි. එහිලා ද සැලකිය යුතු පිම්මක් පනින්නට චීනය අද වන විට සමත් ව ඇත. චීනයේ දළ දේශීය නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 140 කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ. මෙය ලෝක ආර්ථික වර්ධනයෙන් 30%කට වැඩි පංගුවක්. චීනයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 79 දක්වා ළ`ගා වී තිබේ. මේ ආයු අපේක්ෂාව සමහර සංවර්ධිත රටවල් අභිබවා ගොස් ඇත.

ඇත්තට ම ඒකධ්‍රැවීය බල අරගලය බහුධ්‍රැවීය වී අද චීනය දෙසට හැරෙමින් තිබීම සමහර රටවලට දරාගන්නට අමාරු වී ඇත. ඒ නිසා චීනය ගැන ඇසෙන දකින සියලු දේ සත්‍ය කතන්දර ම නොවේ. සමහර ඒවා කතා අන්දරය. “ අන්දර ” යනු කතන්දර වලට වඩා ප්‍රබන්ධ ය. චීනය ගැන ප්‍රබන්ධ අන්දර දැන් බහුල ව අසන්නට ලැබේ.

සටහන – ලාල් හේමන්ත මාවලගේ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී


News Articles
Latest Videos
Most Popular Post