ලංකාවේ වංශ කතා මූලාශ්‍ර වලට අනුව අපේ ඉතිහාසය පටන්ගන්නේ විජය කුමරු ඇතුළු පිරිසගේ පැමිණීමත් සමඟ. එත් සමහර ඉතිහාසඥයන් කියන්නේ ඊටත් අවුරුදු දහස් ගණනකට කලින් ඉඳලා අපේ රටේ දියුණු මානව ශිෂ්ටාචාරයක් පැවැතුනා කියලා. ඒ වුනත් පුරාවිද්‍යාඥයන් නම් මේ මතය පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ ක්‍රිස්තු පුර්ව වසර එක්ලක්ෂ විසිපන්දහසක ඉඳන් කෙමෙන් පරිණාමය වුන ආදි මානවයන් අපේ රටේ හිටිය කියලයි. මේ ඔක්කොම මත එක්ක අද අපි ඔබට කියන්න යන්නේ ලංකාවේ තිබුන පරණම ජනාවාසයක් ගැන කතාවක්.
කොළඹ – නුවර ප්‍රධාන පාරේ නිට්‌ටඹුව මංසන්ධියෙන් දකුණට හැරී කිලෝමීටර් පහක් විතර ගියාම අත්තනගල්ල රජමහා විහාරය හමුවෙනවා. ඒ විහාරය පහුකරලා අත්තනගල්ල රජමහා විහාරයේ ඉඳන් කිලෝමීටර් හයහමාරක් විතර ආවම අලවල ගමට එන්න පුළුවන්. මේ ගමේ ඉහත්තාවට වන්නට පිහිටලා තියෙන අලවල පොත්ගුල් ලෙන රජමහා විහාරය අසල අතුරු පාරේ ටික දුරක් ඉස්සරහට ගිහින් පොත්ගුල් කන්ද කැලේට යන්න පුළුවන්. ඒ කැලේ ටික දුරක් ගියාම තමයි මේ ‘ආදි මානවයන්ගේ ඉසව්වට’ එන්න පුළුවන් වෙන්නේ.
2009 අවුරුද්දේ කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කරපු කැණීම්වලට අනුව, නිසැකවම අලවල කියන්නේ ප්‍රාග් ඓතිහාසික ආදි මානව ජනාවාසයන් බව තහවුරු වෙලා තියෙනවා. මේ ජනාවාසය ක්‍රි.පූ. වසර 14,000-8,000 අතර බව කියලයි කියන්නේ.
බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිණිකොන සීමාවේ තියෙනේ අලවල ලෙන, සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත්. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ අලවල උතුර ග්‍රාමසේවා වසමේ අලවල පොත්ගුල් ලෙන පිහිටා තිබෙනවා. නිට්‌ටඹුවට ලඟින් තියෙන අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන කලාපයක තමයි අලවල ලෙන පිහිටලා තියෙන්නේ. එකෙන් පැහැදිලි වන්නේ ආදී මානවයන්ද එයාලගේ වාසස්ථානවලට ජලාශිත ප්‍රදේශ තෝරා ගත් බව. පහතරට තෙත් කලාපීය වනාන්තරයකින් වට වුන කඳුකර භූමියක එක් බෑවුමක් මැද තියෙන මේ ප්‍රදේශය භූගෝලීය සාධක බැලුවොත්, මුහුුදු මට්ටමින් අඩි 800ත් 1300ත් අතර තමයි තියෙන්නේ. මේ සීමාව තුළ මුහුදු මට්ටමින් අඩි 1286ක උසකින් ඇතාබැඳි ලෙනත්, මුහුදු මට්ටමින් අඩි 984ක් උස අලවල මහ කන්දත්, මුහුදු මට්ටමින් අඩි 842ක් උස කහගල කන්දත්, පිහිටලා තියෙන අතරේ පොත්ගුල් ලෙන මුහුදු මට්ටමින් අඩි 1029ක් උස් වූ කඳු ගැටයක පිහිටලා තියෙනවා.
අලවල පොත් ගුල් විහාරය පසුකර මීටර් 200ක් පමණ යන විට හමුවන මෙම ගුහා ලෙනට පිවිසිමට නිශ්චිත අඩි පාරක් නොමැති නිසා කන්ද තරමක් අසීරුවෙන් තරණය කර යුතු වෙනවා. කන්දේ ඉහළට නැඟුණු පසු දකුණු දිශාවට වන්නට පිහිටි වන ලැහැබ හරහා ගොස් ගුහාව තුළට පිවිසිය හැකියි.
ආදී මානවයන් කණ්ඩායම් විදිහට එකට ජීවත් වුනා කියල තමයි පුරාවිද්‍යාඥයන්ගේ මතය. මේ ගුහාව එකපාර 50 කට පමණ පිරිසකට අව් වැසිවලින් අරක්ෂා වෙන්න පුළුවන් තැනක්. ඊට අමතරව ගුහාව තුළ අදිමානවයා පාවිච්චි කරපු ගල් අයුධ හා ගල්, මෙවලම්, ස්ථිමය, අයුධ සතුන්ගේ අස්ථි කොටස් විද්‍යාඥයන්ට හමුවෙලා තියෙනවා. ඒ අනුව අපට තහවුරු කර ගන්න පුළුවන් වෙන්නේ ක්‍රිස්තු පුර්ව 14000 – 8000 දී විතර මෙහි නොදියුණු ආදී වාසීන් ජීවත් වූ බව.
අපේ රටේ ශිෂ්ඨාචාරය ඇති වෙලා බුදු දහම ස්ථාපිත වුනාට පස්සේ ක්‍රිස්තු පුර්ව තුන්වෙනි සියවසේ මෙතන සංඝාවාසයක් බවට පත් වුනා කියලා කටාරම් වල කොටල තියෙන ඉපැරණි බ්‍රහ්මීය අක්ෂර වලින් තහවුරු වෙනවා. ඒ වගේම මේ ස්ථානයට පොත්ගුල් යන නම භාවිතකොට ඇත්තේ පසුකාලීනව ඉපැරණි දහම් පොත් විශාල ප්‍රමාණයක් මෙම ලෙන තුළ සංරක්ෂණය කොට තිබු නිසා බව තමයි ගැමියන්ගේ විශ්වාසය.