News Line| Off Air| Games
Generic placeholder image

Mar
13

ඉන්දියාවේ උසම පවුල

629 Views


ඉන්දියාවේ උසම පවුල

බොරු කකුලක් නොමැතිව සෙසු ජනයා මිට්ටන් සේ දැකිය හැකි පවුලක්ම සෙයාගැනීම කළුනික සොයාගන්නවාටත් වඩා දුෂ්කරය. එහෙත් ඒ සඳහා වැඩිදුර යා යුතු නැත. අපේ අසල් ඉන්දියාවේම, එවැනි පවුලක් ජීවත්වේ. කොයි කවුරුත් හඳුන්වනනේ ‘කුල්කර්නි’ පවුල එලෙසයි.

කුල්කර්නිලාට කිසිදු පොදු ප්‍රවාහන ක්‍රමයක් යොදාගත නොහැකිය. ඒ නිසා මොවුන් ගමන් බිමන් යන්නේ ස්කූටර්වලින්ම පමණි. ඔවුන්ගේ උසට සරිලන වාහනයක් අදටද නිර්මාණය වී නැත. පවුලේ ගෘහ මූලිකයා ශාරද් කුල්කර්නි පනස් දෙහැවිරිදිය. ඔහු අඩි 7ක් හා අඟල් 1.5ක් උසය. ශාරද්ගේ බිරිය හතළිස් හය හැවිරිදි සන්ජෝත් අඩි 6 අඟල් 2.6ක් උසය. මාපිය ජාන උරුමකරගත් දියණිවරුන්ගේ උස ද අඩි 6 ඉක්මවා ගොස් ඇත.

ශාරද්, සන්ජෝත් හා මෘගා, සාන්යා දියණිවරුන් එක්වී සූදානම් වන්නේ ගිනස් වාර්තාවක් පිහිටුවීමටය. මෘගා දියණියට දැන් වයස අවුරුදු විසි දෙකකි. තවමත් සොළොස් හැවිරිදි පවුලේ බඩපිස්සිය සාන්යා අඩි 6ක් හා අඟල් 4ක් උසය. මෘගා දියණිය අඩි 6ක් හා අඟල් 1ක් උසය. සමස්ත පවුලේම උසේ එකතුව අඩි 26 ඉක්මවයි.

1989 දී ශාරද් හා සන්ජෝත් විවාහ වූ පසු ඉන්දියාවේ උසම යුවළ ලෙස කිරුලු පැලැන්දේ එරටේ ලිම්කා වාර්තා පොතට එක්වෙමිනි.

ඔවුන් ගිනස් පොතට එක්වීමට යන්නේ කැලිෆෝනියාවේ වේන් හා ලෝරී හෝල් ක්විස්ට් යුවළගේ අඩි 13 අඟල් 4ක වාර්තාව බිඳ දැමීමටයි.

වාර්තාවක අභිමානය ඉදිරියේ සිටියත් උපතේ සිට මේ දක්වා ශාරද්ට ජීවිතය රෝස මල් යහනාවක් වී නැත. ගැටවරයෙක් ලෙස ඔහුගේ උස අඩි හතක් වනතුරු මුළු ශක්තියම යොදා ක්‍රීඩාව ජීවිතය කරගෙන සිටියද එයින්ද සමුගැනීමට සිදුවිය. ඒ වැඩි උස නිසාය. ඔහු ඉන්දියාවේ නැඟී එන පාසල් පැසිපන්දු ක්‍රීඩකයකුව සිටියදී අඩි හතක් උස වීම ක්‍රීඩා දිවියට වැදුණු මරු පහරක් විය.

සන්ජෝත් ඉන්දියාවේ ඈත ගම්මානයක උපන්නියකි. සන්ජෝත්ට මෙන්ම ශාරද්ටද විවාහය මතු අනාගතයේ ගැටලුවක්වන බව වැටහිණි. දෙදෙනාම හැදුණේ වැඩුණේ විප්‍රකාර බැලුම් මැදිනි. අපහාසාත්මක, විවේචනාත්මක වදන්වලට සවන් අඟුලු දා ගනිමිනි.

කාන්තාවක උස යාම සාම්ප්‍රදායික ඉන්දියානු සමාජයේ දැවැන්තම අභියෝගයකි. කිසිදා එරට පිරිමියකු තමන්ට වඩා උස තරුණියක ආවාහ කරගන්නේ නැත. විවාහය පිළිබඳ බලාපොරොත්තු සුන්කරගෙන සන්ජෝත් දිවිගෙව්වාය.

සන්ජෝත්ගේ මිත්තණියට කුල්කර්නි තරුණයා මූම්බායිහිදී මුණ ගැසුණේ ඔය අතරේදීය. ඇය ඔහු සොයාගෙන විස්තර දැන ගත්තේය. මුලදී ශාරද් කුල්කර්නි සන්ජෝත් ගැන පුවත විශ්වාස ක‍ළේ නැත. එහෙත් පසුව ශාරද්ගේ මාපියන් සන්ජෝත්ගේ මාපියන් සමඟ හමුවීම සංවිධානය කළේය. එහෙත් සන්ජෝත් මුණගැසෙන තුරුම ශාරද් ඇයගේ උස සත්‍යයක් බව විශ්වාස කළේ නැත. ශාරද් බැංකු සේවකයකු නිසා ඔහුට අඩි හයක් උස බොහෝ කාන්තාවන්ගෙන් විවාහ යෝජනා ලැබිණි. එහෙත් මනමාලිය බැලීමට ගිය විට දක්නට ලැබුණේ උස අඩි 5 අඟල් 10ක් පමණ වන ඔහුට වඩා බොහෝ මිටි තරුණියන්ය. එහෙත් ඔහුට අවශ්‍ය වුණේ අඩි 6ට වඩා උස තරුණියක ආවාහකර ගැනීමටය.

සන්ජෝත් දුටු සැණින් ශාරද්ගේ සිතගියේය. දෙදෙනාට සතුටින් දිවිගෙවිය හැකි බව ඔහුට සිතිණි. 1988 දෙසැම්බර්යේදී දෙදෙනා විවාහ වූහ. දෙදෙනා සිව්දෙනා වූයේ ලොවේම උසම පවුල ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමටද මඟපාදමිනි. විවාහය දක්වාම දෙදෙනාට උස පසුතැවිල්ලක් වුවද දැන් එය සතුට වඩන ප්‍රධානම හේතුව වී ඇත.

දැන් බොහෝදෙනා උත්සාහ ගන්නේ ලෝකයට උසින් හෝ ලොක්කන් වීමටය.

ඔවුනගේ දියණිවරුන්ගේ ආසාව මෝස්තර නිරූපිකාවන් ලෙස නමක් දිනා ගැනීමයි. උස නිසා ක්ෂේත්‍රයේ විශාල ඉල්ලුමක් ලැබෙන බව ඔවුනට විශ්වාසය. දැනට දෙදෙනා අධ්‍යාපනය ලබති.

උස ආශිර්වාදයක් කරගෙන දිගු කලක් මොස්තර නිරූපණයේ යෙදීම මෘගා හා සාන්යාගේ අපේක්ෂාවයි. එහෙත් ඔවුන්ට ගැළපෙන ඇඳුම් ආයිත්තම් සොයාගැනීම පහසු නැත. ඔවුන්ගේ පාවහන් ප්‍රමාණය 8 – 12 දක්වා වෙනස් වේ. ඔවුන් ඇඳුම් ආයිත්තම් ඇණවුම් කරන්නේ අන්තර්ජාලය හාරහා යුරෝපයෙනි.

පවුලේ සාමාජිකයනගේ උසට සරිලන්න නිවෙස ද සාදා තිබේ. අඩි 6 – 8 දක්වා උසට දොරවල් නිමවා ඇති අතර ඇඳ, අල්මාරි , මුළුතැන්ගෙයි, තට්ටු , නානාකාමරය සියල්ල පවුලේ සාමාජිකයන්ගේ උසට සරිලන ලෙස සකසා ඇත.

ශාරද් කුල්කර්නිගේ වැඩිමල් දියණිය මෘගා පවසන්නේ යුරෝපීය රටක ඉපදුණා නම් වඩාත් යහපත් බවය.

එම රටවල පහසුකම් තිබීමත් ජනතාව විවෘත මනසකින් යුතුවීමත් ඊට හේතුවය. ඉන්දියානුවන් පටු මනසකින් බලන අතර ඔවුන්ගේ ඒ මානසිකත්වය වෙනස් කිරීමටද ඇය බලාපොරොත්තු නොවන්නීය.

දැනට ලොව උසම යුවළ ලෙස ලොස් ඇන්ජලීස්හි වේන් හා ලෝරී හෝල් ක්විස්ට් ගිනස් වාර්තා පොතට එක් වුණේ 2010 නොවැම්බරයේදීය. වේන් අඩි 6ක් හා අඟල් 10.4ක් උස වන අතර ඔහුගේ බිරිය ලෝරී අඩි 6 අඟල් 5.95ක් උසය. පනස් හත්හැවිරිදි වේන් පවසන්නේ සෙනඟක් අතරේ පුද්ගලයන් හඳුනා ගැනීම පහසුවෙන් කළ හැකි බවය. තට්ට හිසැති අය ඉතා හොඳින් පෙනෙන බව ගිනස් පොතට එක්වූ දින වේන් පවසා ඇත්තේ සමච්චලයටය. වේන් හා ලෝරී මුණගැසුණේ 2003 දි පල්ලියේ තනිකඩයන්ගේ සංගමයේදීය. පැමිණ සිටි තනිකඩයන් මාරුවෙන් මාරුවට දෙදෙනා දෙස බලා ඇත. ඒ අදහාගත නොහැකි උස ගැළපීම නිසයි. පළමු දැක්මෙන්ම වේන්ට, ලෝරී ගැන සිතක් පහළ විය. උසෙහි ගැළපීම ඊට බලපෑ රහස විය. ඔවුනට පෙර ජීවත්වන උසම යුවළ ලෙස ගිනස් වාර්තා පොතට එක්වූයේ එංගලන්තයේ විල්කෝ හා කෙයිෂා වෑන් ක්ලීෆ් බෝල්ටන්ය. ඔවුන් දෙදෙනාගේ උසේ එකතුව අඩි 13 අඟල් 3ක් විය.

ලෝරිද කලක් පැසිපන්දු ක්‍රීඩිකාවකි. වේන්ට පෙර තමන්ට වඩා මිටි කෙනකු සමඟ යහළුවී සිටි ඇයට එය නොගැළපෙන බව පසුව වැටහී තිබේ. ලෝරිට අවශ්‍ය වී තිබුණේ තමන්ට වඩා උස තරුණයකු සමඟ සරණයාමටය. අඩු වශයෙන් සැමියා තමන්ට වඩා මානසිකව කෙසේ වෙතත් කායිකවත් උසවිය යුතු බව ඇයගේ විශ්වාසයයි.


News Articles
Latest Videos
Most Popular Post