තිසාවැවේ ජලය අරගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්‍රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නැතිවෙලා තියෙනවා කියලත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පවසනවා.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක සුවදුක් බලන්න අව වෙලාවේ තමයි උන්වහන්සේ මේ බව කිව්වේ. බැතිමතුන්ට අවහිර ඇතිවන නීති ඉවත්කිරීමට පොලිසිය පියවර ගන්න කියලා උන්වහන් සේ අවධාරණය කලා. තිසාවැවේ දිය නාන පිරිස් අත්අඩංගුවට ගැනීම වලක්වන්න පියවර ගන්න කියලා උන්වහන්සේ පොලිස්පතිවරයාට වැඩිදුරටත් අවධාරණය කලා.
මේ තියෙන්නේ උන්වහන්සේ පොලිස්පතිවරයාට, මේ ගැන කියපු කතාව.
“දැන් අළුත් කණ්ඩායමක් බිහිවෙලා මේවා රැකගන්න. පිටස්තරින් පැමිණි ස්වාමින්වහන්සේලා පිරිසක් ගිහි පිරිසක් සමග එක්වෙලා තමයි මේ දේවල් කරන්නේ. මේ පුරාණ වැව් රජදරුවන් ඉදිකලේ බැතිමතුන්ගේ අවශ්‍යතාවන්ට. රජ කාලේ රජ දරුවන්ගේ සිට මේ දේවල් ආරක්ෂා කලේ අපි. ඒවා දන්නවා පැරණි ඇත්තෝ.දැන් පිටින් ආපු කට්ටිය මේවට නීති දාන්න පටන් අරගෙන. පසුගිය දිනක තිසාවැවේ දියනෑ අයෙකු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබ්බා. සිරිපාදේ යන උදවිය නල්ලතන්නියේ සීත ගගුලෙන් දිය නානවා. කතරගමට යන උදවිය මැණික් ගගෙන් දිය නානවා. අනුරාධපුර අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ට මේ වන විට දිය නාගෙන පිරිසිදු වෙන්න තැනක් නෑ. බැතිමතුන් දියනාගෙන පිරිසිදුවෙලයි මේ සිද්ධස්ථාන වැදපුදා ගන්න එන්න ඕන.”