චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය ඔක්තෝබර් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්වුණා.
චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ ලෝකයේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව රටක් පාලනය කළ පක්ෂය බවට පත්ව තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරන ලද්දේ 1921 ජුලි මාසයේ ෂැංහායි නුවරදීයි. අද වනවිට පක්ෂය ආරම්භ කරලා වසර 105ක් ගතව අවසන්. චීන කොමියුනිස්ට් පක්ෂය 1949 ඔක්තෝබර් 01 වැනිදා තමයි මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා චීනයේ බලයට පත්වුණේ. චීනයේ බලය හිමිකරගෙන ඒ අනුව වසර 77ක්.
ලෝකයේ රටවල් දීර්ඝ කාලයක් පාලනය කළ දේශපාලන පක්ෂ තවත් තියෙනවා. එහෙත් ඒ සියලු පක්ෂ සැලකීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය තරම් සාර්ථක වූ වෙනත් පක්ෂයක් නැති බව කිව යුතුයි.
සැබෑවට ම චීන කොමියුනිස්ට් පක්ෂය මේ සා විශාල ජනතාවක් සංවර්ධනයේ මාවතට ගෙනයනු ලබන්නේ කුමන නම් වූ ක්‍රියාදාමයක් තුළ ද යන්න මනාව පැහැදිලි කරනු ලැබූ අවස්ථාවක් ලෙස මෙවර පැවති 20වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය හඳුන්වා දිය හැකියි.
ලෝකයේ ඕනෑම පක්ෂයකට ජයග්‍රහණ සේ ම පරාජයන් ද තිබිය හැකියි. නැගීම් සේ ම පරිහානි අවස්ථා ද තිබිය හැකියි. සැබෑවටම පක්ෂයක ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා හරි අපූරු නිර්දේශ දෙකක් 20වැනි මධ්‍යම කාරක සභවේ පස්වැනි පූර්ණ සැසියේ අධ්‍යයනයට ලක් කෙරුණා.
එනම් “ ජනතාවම රජය අධීක්ෂණය කිරීම ” එසේම “ ස්වයං විප්ලවය ” මෙම දාර්ශනික මත දෙකයි. පක්ෂය ස්වයං විප්ලවයකට සූදානම් කිරීමේ දාර්ශනික සංකල්පයේ නිර්මාතෘවරයා වන්නේ වත්මන් ජනාධිපති ෂී ජින් පිං වීම විශේෂත්වයක්.
විශේෂයෙන් පක්ෂයක් පක්ෂ අභ්‍යන්තරයෙන්ම පිරිසිදු වීම යනු දැඩි ස්වයං පාලනයකට යටත් කිරීමයි.
බොහෝ පක්ෂ ආරම්භයේ දී ඉතා උද්යෝගයකින් නැගී සිටින බව අප දැක තිබෙනවා.
එහෙත් කාලයක් ගත වනවිට දූෂණය, අලසකම නිසා පිරිහෙන අතර, පක්ෂය සේ ම රටත් විනාශ වූ අවස්ථා එමටයි. චීන කොමියුනිස්ට් පක්ෂය මේ ඵෙතිහාසික චක්‍රයෙන් ගලවා ගන්නේ කෙසේ ද යන්නට එකල මාඕ සේතුං නායකයා ලබා දුන් පළමු විසඳුම වූයේ මහජනතාවගේ අධීක්ෂණය යන්නයි. එනම් Public Oversight යන්නයි.
අද වනවිට චීන කොමියුනිස්ට් පක්ෂය “ නවීන කොමියුනිස්ට් ” පක්ෂයක් බවට පත්වෙමින් තිබෙනවා.
එහිලා ඊළඟට වැදගත්ම සංකල්පය ඉදිරිපත් කරනු ලැබුවේ වත්මන් ජනාධිපති ෂී ජින් පිංය.
එනම් ස්වයං ප්‍රතිසංස්කරණය හෙවත් ස්වයං විප්ලවයයි. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සංකල්පය වනුයේ පාලන බලය අහිමි නොවී දීර්ඝ කාලීනව පවත්වාගෙන යාමට නම් මහජනතාව පක්ෂය අධීක්ෂණයට අමතරව පක්ෂ අභ්‍යන්තරයේ දැඩි පාලනයක් හෙවත් ස්වයං ප්රතිසංස්කරණයක් පවත්වා ගත යුතු බවයි.
එය හරියට ශක්තිමත් මිනිස් සිරුරක ක්‍රියාකාරිත්වය වගෙයි. සිරුර නීරෝගීව පවත්වාගෙන යාමට නම් අපට භාහිරින් විවිධ පෝෂණයන් ලබා ගත යුතු වෙනවා. එය ජනතාවගේ අධීක්ෂණයට සමානයි.
එනම් රෝග ඇති වීම වැළැක්වීමට භාහිරින් අප ගන්නා දෙයින් ලැබෙන පෝෂණයට අමතරව අපගේ ශරීරයේ අභ්‍යන්තර ප්‍රතිශක්තිකරණ පද්ධතියත් හොඳින් ක්‍රියා කළ යුතුයි.
එය හරියටම ස්වයං විප්ලවය වගෙයි. රට නැමති ශරීරය ශක්තිමත්ව පත්වාගෙන යාමට නම් ඒ රට පාලනය කරන පක්ෂය භාහිරින් ජනතා අධීක්ෂණයට ලක්විය යුතුයි. එය අපේ ශරීරය පවත්වාගෙන යාමට භාහිරින් ගන්නා පොෂණයට සමානයි. ශරීර අභ්‍යන්තරයේ ප්‍රතිශක්තිකරණය හරියට ස්වයං විප්ලවය වගෙයි.
ඉතා හොඳ භාහිර පොෂණයත්, ශරීර අභ්‍යන්තරයේ ප්‍රතිශක්තිකරණයත් යනු නීරෝගි සිරුරක හා මනසක් බිහි කිරීමට අත්‍යවශ්‍ය සාධකයයි.
ඔනෑම පහනක් යට අන්ධකාරය තියෙන්න පුළුවන්. ඒ නිසා ඔනෑම පැරණි පක්ෂයක් මත වුවද, ශක්තිමත් පක්ෂයක් මත වුවද අන්ධකාර තැන් තිබිය හැකියි.
පක්ෂයක් ජනතා අධීක්ෂණයට ලක්වන විට අප එකම හුස්මක අයිතිකරුවන් බව ඔවුන්ට දැනෙනු ඇත. පක්ෂය හා ජනතාව අතර බැඳීම තව තවත් ශක්තිමත් වනු ඇත. පක්ෂය හා ජනතාව එකම ඉරණම බෙදාගන්නා එකම දේශයක කොටස් බවට පත් වනු ඇත.
සැබෑවටම රටක් ආර්ථිකව මොනතරම් බලවත් වුවත් අභ්‍යන්තරය දූෂණයෙන් පිරුණ, විනය පිරිහුණ පක්ෂයක් බවට පත් වුණොත් සමස්ත රාජ්යම බිඳ වැටෙන බව ජනාධිපති ෂී ජින් පිංගේ දැඩි විශ්වාසයයි.
ඒ නිසා පක්ෂය අභ්‍යන්තරයෙන් පිරිසිදු කරගැනීමට ඔහු දැඩි ස්ථාවරයක සිටින නායකයෙකු බව අවිවාදාත්මකයි. විශේෂයෙන් එහිලා 2012 දී චීන ජනාධිපති ෂී ජින් පිං හඳුන්වා දුන් Tigers සහ Flies හෙවත් කොටි සහ මැස්සන්ගේ දූෂණ විරෝධී මෙහෙයුම ලෝකයේ රටක් තුළ දැකිය හැකි විශිෂ්ටතම දූෂණ විරෝධී ක්‍රියාමාර්ගයක් බවට අවිවාදාත්මකයි.
“ දූෂණය නතර කිරීමට නම් පහළ නිලධාරීන් පමණක් නොව ඉහළ නිලධාරීන් ද පරික්ෂාවට ලක් කළ යුතුයි යන්න ඔහුගේ න්‍යායයි.
හුදෙක්ම කතාවකට හෝ දර්ශනයකට, ප්‍රලාපයකට සීමා නොවූ චීන ජනාධිපතිගේ දර්ශනය සැබෑවටම ඔහු ප්‍රායෝගිකව ක්‍රියා කරමින් ඉන්නවා. ඊට කදිම උදාහරණය චීන දේශපාලනයේ ඉහළම බලතල හෙබවූ Zhou Yongkang චෞ යොංකාං අත්අඩංගුවට ගෙන දඬුවම් දීමයි.
චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය තුළ පැවති මතයක් වූයේ පක්ෂයේ ඉහළ අයට, සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනා මත නඩු දාන්නේ නැහැ කියන එකයි.
නමුත් මේ මතය අද චීන ජනපති ෂී ජින් පිංගේ පක්ෂය ස්වයං විප්ලවයකට ලක් කිරීමේ සැබෑ අභිප්‍රාය විදහා දක්වන අවස්ථාවක් බවට පත්ව තිබෙනවා. චෞ යොංකාං දූෂණය සහ අල්ලස් ගැනීම ගැන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වුණා. මෙය සැබෑවටම සමස්ත ලෝකයම මවිතයට පත් කළ බව කිව යුතුයි.
මේ වනවිට චීනයේ මුදල් වංචා කර විදේශ රටවලට පලා ගොස් සිටින අයගේ වත්කම් ජාත්‍යන්තර පොලීසියේ ද සහය ඇතිව ආපසු ගෙන්වා ගැනීමේ දැවැන්ත ක්‍රියාදාමයක චීනය නිරතව සිටිනවා. හමුදා ජෙනරාල්වරුන්ගේ සිට විවිධ තරාතිරම්වල අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට අරන් තියෙනවා. සැබෑවටම ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමය නොනවතින ස්වයං විප්ලවය ලෙස ද හඳුන්වා දිය හැකියි.
Relentless Self – Revolution අද වනවිට මේ ස්වයං විප්ලවය බොහෝ ක්ෂේත්‍ර දක්වා විහිදී යමින් තිබෙනවා. මුදල් හා බැංකු ක්ෂේත්‍ර පමණක් නොව සෞඛ්‍ය හා ක්‍රීඩා ක්ෂේත්රවල පවා දූෂණ වංචා විමර්ශන ක්‍රියාත්මකයි. රජයේ විතරක් නෙවෙයි පක්ෂයේ සේ ම මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇති අතර ලක්ෂ ගණනකට නඩු පවරා තිබෙනවා. මීටත් වඩා ස්වයං විප්ලවයක් ලෝකයේ වෙනත් කිසිඳු රටක දක්නට නැති බව කිව යුතුයි.
මේ පක්ෂය ස්වයං විප්ලවයකට ලක් කිරීමේ නොනවතින ෂී ජින් පිංගේ නූතන විප්ලවය නිසා අද වනවිට පක්ෂයට ඇති මහජන විශ්වාසය දිනපතා ඉහළ යමින් පවතිනවා. ඒ ජනතාව පීඩාවට පත්කරන අල්ලස් ගන්නා නිලධාරීන්ට දඬුවම් ලැබීම නිසයි. එසේම පක්ෂයේ විනය ද දිනපතා ඉහළ යමින් පවතිනවා. ෂී ජින් පිං ජනාධිපතිවරයා “ ස්වයං විප්ලවය ” නිසා පක්ෂයේ නීතියට උඩින් කිසිඳු ප්‍රභූ පුද්ගලයෙකු නැති බව අද සනාථ වී අවසන්.
මේ ආකාරයට ජනතා විශ්වාසය වැඩි වීමත්, දූෂිත ජාලය බිඳ දමමින් දඬුවම් කිරීමත් නිසා පක්ෂයේ අභ්‍යන්තර ස්ථාවරත්වය සහ පූර්ණ නායකත්වය ඉතා ඉහළ මට්ටමින් තහවුරු වෙමින් තිබෙනවා.
මේ චීනය ගමන් කරමින් සිටින්නේ “ චීන සිහිනය ” වෙතයි. චීන සිහිනය යනු හුදෙක් ආර්ථික ජයග්‍රහණ අත්කරගැනීම පමණක් නෙවෙයි කියලා චීන ජනාධිපති ෂී ජින් පිං අවධාරණය කරනු ලැබුවා. එහිලා පක්ෂයේ දැඩි විනය සේ ම එකමුතුකමත්, දූෂණයෙන් තොරවීමත් ප්‍රධාන ප්‍රායෝගික අවශ්‍යතා යන්න ඔහු තම ක්‍රියාව තුළින් සනාථ කර අවසන්.
අද වනවිට චීන ජනාධිපති ෂී ජින් පිංගේ මෙම දූරදර්ශී, ශක්තිමත්, නිර්භීත, අවංක නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය ලොව විශාලතම සහ බලවත්ම දේශපාලන පක්ෂය වී හමාරයි. මේ වනවිට මිලියන 90කට වැඩි ජනතා විශ්වාසයක් දිනා ගැනීමට හැකි වීම ජනාධිපති ෂී ජින් පිංගේ දූරදර්ශී නායකත්වයට කදිම සාක්ෂියක්.
ගෙවුණු දශක කිහිපය තුළ චීන ජනතාව මිලියන 800කට අධික සංඛ්‍යාවක් අතිශය දුප්පත්කමින් මුදා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත්ව තිබෙනවා. 2021 දී අතිශය දරිද්‍රතාව හෙවත් Extreme Poverty අවසන් කිරීමට චීනය සමත් වූවා. අද වනවිට ලෝක ආර්ථික බලවතෙකු බවට පත්ව තිබෙනවා. සැබෑවටම චීන ජනාධිපතිවරයා මහා කුණාටු මැද නිරුපද්‍රිතව චීනය නම් නෞකාව රන්වන් වරායක් වෙත පදවන්නට සමත් වූ නූතන ලෝකයේ දාර්ශනික කප්පිත්තා බව සටහන් කළ හැකියි.
විශේෂයෙන් ජනාධිපති ෂී ජින් පිං හඳුන්වාදුන් “ චීන මාදිලියේ නූතනකරණය ” හුදෙක්ම චීනයට ආවේනික වූ දැක්මක්. එය බටහිර රටවල අනුකරණයක් නෙවෙයි. තමන්ට තම රටටම අවේනික වූ නව සමාජවාදී මාර්ගයක් හරහා සංවර්ධනය සහ සමෘද්ධීය පරිසර හිතකාමි ලෙස අත්කර ගැනීමට ෂී ජින් පිං ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය අද්විතීයයි.
බටහිර රටවල නායකයන් බොහෝ විට අවුරුදු 4 – 5 ක ඡන්දය ඉලක්ක කරගත් කෙටිකාලීන මාර්ග හොයද්දි ජනාධිපති ෂී ජින් පිං “ චීන ශත සංවත්සරය සිහිනය ” වැනි දශක ගණනාවක ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාකරනු දක්නට පිළිවන්.
“ නිල් අහස, පිරිසිඳු ජලය සහ ලස්සන චීනයක් යන හුදු චීනයට පමණක් උරුම පල ප්‍රයෝජන අත්වන දැක්මක් නෙවෙයි. මෙය සමස්ත ලෝකයම ලස්සන කරනන්ට හේතුවන දුර දැක්මක් බව කිව යුතුයි. හුදෙක් ෂී ජින් පිං යනු දාර්ශනික දැක්මක් සහිත දේශපාලන නායකයෙකු බව ඔහුගේ මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සනාථ කරමින් තිබෙනවා.
සටහන – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලාල් හේමන්ත මාවලගේ.
වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය