News Line| Off Air
Generic placeholder image

Nov
25

නව රජයේ අමාත්‍යවරුන් රැසක් අද තම ධූරයේ වැඩ අරඹයි

885 Views


නව රජයේ අමාත්‍යවරුන් රැසක් අද තම ධූරයේ වැඩ අරඹයි

මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා.

ඉදිරියේදී ගෙන එන නව පනතක් මගින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා සිය රජයේ 16 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පත් කළ අතර, එහිදී මුදල්, ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු මෙන්ම නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා, බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ගොස් එහි රාජකාරි ආරම්භ කළා.

එමෙන්ම, පසුගියදා නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් තවත් කිහිපදෙනෙකු සිය අමාත්‍යාංශවල අද රාජකාරි කටයුතු ආරම්භ කළා.

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන සිය කටයුතු ආරම්භ කළේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශයේදියි.

එමෙන්ම, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, අද පස්වරුවේ කම්කරු අමාත්‍යාංශයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රමේෂ් පතිරණ සිය රාජකාරි ආරම්භ කළේ එම අමාත්‍යාංශයේදීයි.

මීට අමතරව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ප්‍රසන්න රණතුංග කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේදි අද පෙරවරුවේ සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, පරිසර සහ වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ද අද සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

මීට අමතරව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ද අද සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතාව සහ පාරිභෝගික සුබ සාධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ අද සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

එමෙන්ම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විමල් වීරවංශ අද එම අමාත්‍යාංශයේදි වැඩ භාරගැනීම සිදුකළා.

කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් පවිත්‍රා වන්නිආරච්චි අද සෙත්සිරිපායේ පිහිටි ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේදී රාජකාරී ආරම්භ කළා.

මේ අතර, මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ දී අද සිය ප්‍රථම නිළ නිරීක්ෂණ චාරිකාවට එක්වුණා.


News Articles
Latest Videos
Most Popular Post