තම ධුර කාලයේදී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ඉහළම තලයකට රැගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සදහන් කළා.
ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සමඟ පැවති සාකච්ඡාවේදි ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
අද උදෑසන රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
අනතුරුව ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් ද පැවති අතර, ඉන් පසුව රාජ්‍ය නායකයන් දෙපළ අතර සාකච්ඡා පැවැත්වුණා.
නව දැක්මක් සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙලට තම රජයේ පූර්ණ සහය ලබාදෙන බව එහිදී අදහස් දැක්වූ ඉන්දීය ජනාධිපතිවරයා කියා සිටියා.
අනතුරුව රාජ් ගාත් වෙත ගිය ජනාධිපතිවරයා මහත්මා ගාන්ධි අනුස්මරණ පිළිරුව වෙත උපහාර දැක්වීමක් ද සිදුකර විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සැමරුම් පොතේ අත්සන් තැබීම ද සිදුකළා.
එමෙන්ම මේ වන විට හයිද්‍රාබාද් මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර, ද්වි පාර්ශවික සාකච්ඡා ද ආරම්භ වී තිඛෙනවා.