අපවත් වී වදාළ පුජ්‍ය බුද්ධංගල ආනන්ද මිහිපාණන් වහන්සේගේ දේහය මේ වන විට කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැම්පත් කර තිබෙනවා.
දේශපාලන නායකයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.
ගිහිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නිරතව සිටි, හිටපු මේජර් ජෙනරාල්වරයෙකු වූ ආනන්ද වීරසේකර මහතා 2007 වසරේ උතුරු මද පළාත් අණදෙන නිලධාරියා ලෙස ද තම රට ජාතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළා.
ඔහු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ වැඩිමහල් සොහොයුරායි.
එසේම 1988 – 89 භීෂණ සමයේ දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ලෙසද එතුමා කටයුතු කරනු ලැබුවා.
පසුව ගිහි ජීවිතයට සමුදුන් ආනන්ද වීරසේකර, පුජ්‍යය බුද්ධංගල ආනන්ද හිමියන් ලෙස පැවිදි දිවියට ඇතුලත් වුණා.
පැවිදි ජීවිතය තුළ දී බෞද්ධ ආගමික පුනර්ජීවනය උදෙසා ධර්ම ග්‍රන්ථ රැසක්ද රචනා කළා.
වයස අවුරුදු 78 ක් ආයු වළදා උන්වහන්සේ ඊයේ දින අපවත් වුණා.
අපවත් වී වදාළ ආනන්ද හිමිගේ දේහය මහජන ගෞරවය උදෙසා බෞද්ධ සම්මේලන ශාලාවේ තැම්පත් කර තිබෙනවා.
දේහයට අවසන් ගෞරව දක්වීමට ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.
අපවත් වී වදාළ බුද්ධංගල හිමියන්ගේ දේහය හෙට දිනයේ මතක වස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව ගුවන් මගින් බුද්ධංගල අරණ්‍ය සේනාසනය වෙත වැඩම කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව එළඹෙන 31 වනදා පස්වරුවේ අම්පාර බුද්ධංගල අරණ්‍ය සේනාසන භුමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.