News Line| Off Air| Games
Generic placeholder image

Oct
10

කාගෙත් හොඳ මිත්‍රයා රොනී ලීච් ගැන කලාකරුවන් කිව්වා කතා

769 Views


කාගෙත් හොඳ මිත්‍රයා රොනී ලීච් ගැන කලාකරුවන් කිව්වා කතා

පසුගියදවස් වල ගොඩක් වටින කලාකරුවෙක් අපිට නැතිවුණා. ඒ කාගෙත් මිත්‍රයා විදිහට හිටපු රොනී ලීච් මහතා. රොනීගේ මේ හදිසි හැරයාම රොනීගෙ ලඟම අයට වගේම ප්‍රේක්ෂකයින්ටත් දරාගන්න බැරි දෙයක් වුණා.

රොනීගෙ සමුගැනීමත් එක්ක රොනී ලගම ඉන්න අය රොනී ගැන කිව්වෙ මේ වගේ කතාවක්.

ඔහු අංගසම්පූර්ණ කලාකරුවෙක්

චාන්දනී හෙට්ටිආරච්චි

කලාකරුවෙක් විදියට රොනී ලීච් ලොකු දෙයක් කරලා තියෙනවා. රොනීගේ වටිනාකම වෙන රටවල අයට පවා දැනිලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු හොඳ ඉදිරිපත් කරන්නෙක්. හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්. හැමෝටම එකම විදියට සලකන කෙනෙක්. කලාකරුවෙක් විදියට තමන්ගේ තැන ආරක්ෂා කර ගන්න එක හරිම අමාරුයි.

හැබැයි රොනී වසර ගණනාවක් තිස්සේ තමන්ගේ තැන ආරක්ෂා කර ගත්තා. ඔහු මේ තාක් ආපු ගමන ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මේ වගේ අකල් මරණයක් කාටවත් වෙන්න එපා කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඔහු හොඳ පවුල් ජීවිතයක් ගත කළා. ඒ අතින් ඔහු අංගසම්පූර්ණ කලාකරුවෙක්. ඔහු මියගිය පුවත ගැන ඇහුවාම ඇත්තටම මගේ ඇස්වලට කඳුළු ආවා. හරිම දුක්බර අවස්ථාවක්. මෙච්චර ඉක්මනට ඔහු යයි කියලා හිතුවේ නෑ.

රොනී තමයි ෆ්‍රෙඩීට පස්සේ බිහිවුණ හොඳම ගායන රංගන විකට ශිල්පියා

කීර්ති පැස්කුවල්

රොනී ලීච් කියන්නේ ගායන ක්ෂේත්‍රයේ හිටපු දැවැන්ත චරිතයක්. ඔහු 1972 ඉඳන් තමයි ක්‍රියාකාරීව සංගීත ක්ෂේත්‍රයට ආවේ. රංගනයට පිවිසුණේ “අෑතින් අෑතට” චිත්‍රපටය හරහා. කණ්ඩායම් සංගීතයෙන් ප්‍රසිද්ධ වුණ ඔහු සිංහල, බටහිර, හින්දි කියන භාෂා කීපයෙන්ම ගීත ගායනා කළා. ඔහු 1985 දී ඕමාන්වලට ගියා.

1989දී ආපහු ලංකාවට ඇවිත් මගේ සංගීත කණ්ඩායම එක්ක වැඩ කළා. “මමයි තට්ටයා” ගීතයෙන් තමයි ඔහු ගොඩක්ම ජනප්‍රිය වුණේ. ඔහු වේදිකාව තුළ ගීත ගායනයන් ඉදිරිපත් කරන විදිය හරිම නිර්මාණාත්මකයි. ඒ වගේම ප්‍රාසාංගිකයි. රොනී ලීච් තමයි ෆ්‍රෙඩී සිල්වාට පස්සේ බිහිවුණ හොඳම ගායන, රංගන, විකට ශිල්පියා. ඒ වගේම හරිම හිත හොඳ, සුහදශීලී, පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්.

මිය යන විට ඔහුට වයස අවුරුදු 65යි. ඇත්තටම ඔහුගේ වියෝව දරාගන්න අමාරුයි. පවුලට සියලුම යුතුකම් ඉටු කරමින් හරිම ක්‍රියාශීලීව වැඩ කරපු කෙනෙක්. ඔහුට ශ්‍රී ලාංකික ගායක ගායිකා සංගමයේ බලවත් ශෝකය අපි ප්‍රකාශ කරනවා.

රොනී කිසිම කෙනකුගේ හිත රිද්දුවේ නෑ

මධුමාධව අරවින්ද

රොනී ලීච් ගැන කතා කරනකොට මතක් වෙන පළමුවැනි කාරණාව තමයි අපි හොඳ යාළුවෝ. මම කොණ්ඩේ වවලා හිටපු කාලේ ඔහු මට කතා කළේ මධු කියලා. හැබැයි මම කොණ්ඩේ කැපුවාම බ්‍රදර් කියලා මට කතා කළා. ලංකාවේ සිරිතක් තියෙනවානේ මනුස්සයෙක් මැරුණාම ඒ කෙනාගේ නැති ගුණ කීම.

හැබැයි රොනී ගැන එහෙම කියන්න කිසිම නරක දෙයක් නැහැ. කිසිම කෙනකුගේ හිත රිද්දන්න වචනයක් කියන්නේ නැති කෙනෙක්. අපි හැමෝම ආවොත් යන්නම ඕනෑ. රොනීගේ සින්දුවක් තියනවා “මම ගියා අපායේ බජව් එහෙකට” කියලා. හැබැයි ඒ සින්දුවේ කියන විදියට රොනී අපාගත වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. මට කියන්න තියෙන්නේ රොනී යන්න අපිත් එන්නම් කියලා තමයි.

ලොකු ලොකු හීන නොතිබුණු විනෝදකාමී පුද්ගලයෙක්

නලින් පෙරේරා

මම රොනී එක්ක වැඩ කරන්නේ අවුරුදු විස්සකටත් වැඩි කාලෙක ඉඳන්. මුලින්ම අපි එකතු වෙලා ‘මේරියන්ස් කෑලි’ කියලා කැසට් එකක් කළා. එදා ඉඳන්ම අපි එකට ලංකාවේ වගේම විදේශ ප්‍රසංග ගණනාවකටම සහභාගි වුණා. හරිම විනෝදකාමී ඒ වගේම සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වුණ කෙනෙක් රොනී ලීච් කියන්නේ. රොනීට ලොකු ලොකු හීන තිබ්බේ නෑ. අද කාලේ හැමෝවම සතුටු කරන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි.

හැබැයි රොනී ඒ වගේ චරිතයක්. හැමෝම හිනස්සනවා. එයාගේ පළමු වැනි හාර්ට් ඇටෑක් එක ආපු වෙලාවෙ ඔපරේෂන් එකක් කළා. ඒ ඔපරේෂන් එකෙන් පස්සේ ඔහු ගොඩක් ප්‍රවේශම් වුණා. හැබැයි විහිළු තහළුවල අඩුවක් වුණේ නෑ. ඇත්තටම මේ මරණය ගැන මම ඇතුළු මේරියන්ස් බෑන්ඩ් එකේ හැමෝම දුක් වෙනවා. ඒ වගේම මේරියන්ස් බෑන්ඩ් එකේ සියලු දෙනාම ඔහුට ස්වර්ග සැපත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මම ඔහුට වැරැද්දක් කිව්වත් ඔහු හිනා වෙනවා

සමන් ද සිල්වා

මම රොනීව අඳුනගත්තේ 1978දී. ඔහු ඇත්තෙන්ම සුන්දර චරිතයක්. එතුමා තරම් සිනමාව ගැන දන්න ගායකයෙක් මම මීට කලින් දැකලා නැහැ.

වේග රිද්ම ගායනයට මගෙන් පස්සේ ආපු පුරුක තමයි රොනී ලීච් කියන්නේ. ඔහු කොමඩි පැත්තත් එක්කමයි ක්ෂේත්‍රයට ආවේ. ගායන ක්ෂේත්‍රයේ ඒ පැත්ත එන්න එන්නම කඩාගෙන වැටෙන මේ වගේ කාලෙක ඔහුගේ මේ හදිසි අභාවය ක්ෂේත්‍රයට සිදුවෙච්ච ලොකු පාඩුවක්. ඒ ගැන ඇත්තෙන්ම ලොකු කනගාටුවක් තියෙනවා. ඔහු කාටවත් බනින කෙනෙක් නොවෙයි. මම එයාට මොකක් හරි වැරැද්දක් කිව්වත් එයා හිනා වෙනවා. කතාවක් තියනවානේ හොඳ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන කාලය අඩුයි කියලා.


News Articles
Latest Videos
Most Popular Post