News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

මට ඉතිහාසයක් තියෙනවා – ලැබුණු සම්මානය ගැන අරවින්ද කතා කරයි

2604 Views


මට ඉතිහාසයක් තියෙනවා – ලැබුණු සම්මානය ගැන අරවින්ද කතා කරයි

පසුගියදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණ ස්ලිම් නෙල්සන් ජනතා සම්මාන උළෙලේ ජනතාවගේ ගුවන් විදුලි නිවේදකයා ලෙස සම්මානය හිමිකරගත්තෙ සියත එෆ්.එම් හි අරවින්ද ලොකුගේ. මේ ඔහුත් සමග ගත කරපු සොඳුරු කතාබහේ දිගහැරුමයි.

ජනතා සම්මානය කියන්නේ ලබන්න තියෙන ඉහළම සම්මානය. ඔබ මේ සම්මානය ලබා ගන්නේ විශාල කැපවීමක ප්‍රතිඵලයක් විදිහට. ඒ ගැන ටිකක් කතා කරමු ද ?

මේක විශාල ඉතිහාසයක් තියන කතාවක්. වයස අවුරුදු හතේදී ගුවන්විදුලියේ හඳමාමා වැඩසටහන, රූපවාහිනී මුතුහර වැඩසටහනින් පටන් ගන්න ගමන දශක ගණනාවකින් ලබාගත්ත ප්‍රතිඵලයක් තමයි මේ සම්මානය. ස්ලිම් නීල්සන් ජනතා සම්මානය තුල ජනතාවගේ නිවේදකයා කියන සම්මානය දෙන්න පටන් අරන් දැනට අවුරුදු හතරයි. ඒ අවුරුදු 4 පිටපිටම ජනතා නිවේදකයාට හිමි සම්මානය ලබාගන්න ජනතාවට අවස්ථාව දීලා තියෙනවා.

ඒ ජයග්‍රහණය කොහොමද ඔබට දැනෙන්නේ ?

මුලදීම පොඩි ආඩම්බරයක් දැනෙනවා. ඔය වගේ සම්මානයක් ලැබුණම මිනිස්සු කියනවා අනේ මම එහෙම ලොකුවට ආඩම්බර වෙන කෙනෙක් නෙවෙයි වගේ කතා. නමුත් පුද්ගලිකව මට ඒ ගැන ආඩම්බරයක් තියෙනවා. ඒක ලොකු අභියෝගයක්. සම්මානයේ වටිනාකම දැනෙන්නේ සම්මාන නොලැබී ගියාහම. නිවේදකයින්ගෙ අභියෝගයක් තියෙනවා. එහෙමයි මට දැනෙන්නේ. ඒක ඇතුලෙ තියෙන්නේ සතුටක්. නිවේදකයෙක් විදිහට මම කතා කරපු දේවල් ගැනනෙ මිනිස්සු මොනවා හරි ප්‍රතිචාර දක්වලා තියෙන්නෙ. ඉතින් ඒකෙ වගකීම තමයි මට මේ සම්මානයෙන් දැනෙන්නේ.

අරා කියන්නේ ඔබ නිර්මාණය කළ සන්නාමයක් ඒ සන්නාමයට නිසි සම්මානය ලැබුණා කියලා විශ්වාස කරනවද ?

අරා කියලා කියන්නේ සන්නාමයක් නෙවෙයි. මම අරවින්ද. අරා කියන්නේ මගේ කෙටි නම. කාලයක් මගේ සමීපතයින් මට කතා කරපු නම ඒ. ඒ දැම්ම නම පාවිච්චි කරන නැතුව රේඩියෝ මාධ්‍යයේදි අරවින්ද කියලා භාවිතා වෙන්නේ මම සියතට ආවට පස්සේ කලින් හිටපු මාධ්‍ය ආයතනයෙන් පවරපු නඩුවක් නිසා.

මගේ නමේ අයිතිය ඒගොල්ලොන්ට තියෙනවා කියන එක තමයි ඒගොල්ලන්ගෙ නඩු නිමිත්ත වෙලා තියෙන්නේ. නමුත් අරා කියන්නෙ සන්නාමයක් නෙමේ අරා කියන්නේ නමක්. මම අරවින්ද වෙන නිසා තමයි අරා කියන එක පාවිච්චි කළේ. නමුත් මම අරවින්ද කියන නම එක පාවිච්චි කරනවා මේ නඩු කටයුතු අවසන් වෙනකන්. නමුත් මිනිසුන් අදටත් මට අරා කියලා කතා කරනවා. මගේ නම කෙටි කරාම වෙන කතා කරන්න විදිහක් නෑනේ මිනිස්සුන්ට. මිනිස්සු ඒ අයට හුරු නමින් මට කතා කරනවා.සම්මාන උළෙලදී සම්මාන ප්‍රදාන කරන අයටත් ගැටලු මතුවෙලා ඇති. මම හිතන්නෙ ඒක දිහා මීට වඩා පුළුල්ව බලන්න ඕනේ. කාටවත් වැරැද්ද පටවන්න විදිහක් නෑ. මිනිස්සු කවදත් ඕන කෙනෙකුට කතා කරන්නේ තමන් ආදරේ කරපු නමින්. ඒ විදිහට තමයි මිනිස්සු තාමත් මට ඒ නමින් කතා කරන්නේ. ඒ ගොල්ලො ආදරෙ කරපු නමින්. ඒක මට පාලනය කරන්න බෑ .

ඔබ සියත භාරගන්නේ අභියෝග රැසක් එක්ක. දැන් සියත තියෙන්නෙ කොතනද ?

මම හිතනවා මිනිස්සුන්ගේ හදවතේ කියලා. මේ තියෙන සමීක්ෂණ වාර්තාවලට පුද්ගලිකව අභියෝග කරන්න හෝ ඒවායේ හරි වැරදි කියන්න මම මහන්සි වෙන්නේ නෑ. නමුත් අපිට තියෙන විශාලතම අභියෝගය විදිහට මම විශ්වාස කරන්නෙ අපි කරන කියන දේවල් වලින් අපි මිනිස්සුන්ට කොයි තරම් සමීප වෙනවද කියන එකයි. සමීක්ෂණ වාර්තා වල අපි කොතනද ඉන්නේ කියන එකට වඩා මම හිතනවා  බාර ගත්ත ද නැද්ද කියන කාරණාව ගොඩාක් වැදගත්. අන්න එතනදී අපි පොඩිකාලයක් ඇතුලත හිතාගන්න බැරි තරම් ප්‍රමාණයකට ජනතාවට ලං වෙලා තියෙනවා. මට වගේම සියත කළමනාකාරීත්වයට ඒ දේ දැනෙනවා.  මිනිස්සුන්ට ඒක දැනෙනවා. දවස ගානෙ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි කතා කරන දේවල් මිනිස්සු නැවත නැවත කතා කරන එක තුලින් අපිට පැහැදිලි වෙනවා අපි සෑහෙන දුරට මිනිස්සුන්ගේ හිත් වල ඉන්නවා කියන දේ .

ලංකාවේ නිවේදක නිවේදිකාවන් බොහෝ දෙනෙක් නිකම් හරසුන් දේවල් කියවන අය බවට පත්වෙලා ඉන්නවා. ඒ ගැන මොකද හිතෙන්නේ ?

ඒකට ඒ ළමයින්ට විතරක් දොස් කියන්න බෑ. මේක අවුරුදු ගානක් තිස්සේ මේ තියෙන සමාජ ක්‍රියාවලිය ප්‍රතිඵලයක්. අද ඉස්කෝලෙ  පාඩම් පොතට අමතරව වෙනත් පොතක් කියවන ළමයෙක් අපට මුණගැහෙන්නෙ එහෙමත් වෙලාවක. ලමයිට බැරිකම නෙමෙයි. සමහර වෙලාවට ඔවුන්ට හොඳ මඟ මගපෙන්වීමක් නැතිකම සහ කියවීමට හුරු නැති කමයි. මෙතන තියෙන රේඩියෝ වල ඒ ළමයි කියල මම කියන්නේ නෑ. ඒක තමයි මම දකින එකම හේතුව. දැනුම එකතු වෙන්නේ නෑ. ඒ නිසා බුද්ධි වර්ධනය වෙන්නේ නැහැ. මේක හරි ලේසියෙන් නිවැරදි කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. මගෙත් එක්ක හැදුණු නිවේදක පරම්පරාවටම කියවීම හුරු කරලා තියනවා. මගෙන් ඉගෙන ගත්ත දේවල් වගේම මගේ ගොඩ දෙනෙක් අද වෙද්දි මාධ්‍ය ආයතනවල ප්‍රධාන පෙළේ තනතුරු වල ඉන්නවා. මම හිතනවා ඒ අය සැලකිය යුතු දෙයක් කරනවා කියලා. ඔවුන්ට යුතුකමක් තියෙනවා ඒ දේවල් ඉදිරි පරම්පරාවට දෙන්න. නැත්තම් ඇත්තටම අවුරුදු ගානක් යනකොට ගුවන්විදුලි අහන්න දෙයක් නැතුව යයි.

පවුලේ විස්තර ටිකක් කියමු ද ?

මගේ බිරිඳ නදීකා කුමාරිහාමි. ඇයට ට්‍රම්ප්ඩ් සොලූෂන් නමින් වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන යනවා. අපිට ඉන්නවා පොඩ්ඩෝ දෙන්නෙක්. මට නිවේදක වෘත්තියේ තියෙන අභියෝග වලට වඩා ගෙදර තියෙන අභියෝග තමයි වැඩි. ගෙදර අය වෙනුවෙන් කාලය වෙන් කරගන්න එක සෑහෙන මහන්සි වෙලා කරගෙන යනවා. මොකද කාලේ ඒ තරම් ඉක්මනට ගෙවිලා යනවා.

අද වෙනකොට ලංකාවෙ ඉන්නෙ වෙනත් නම් වලින් පෙනී සිටින නිවේදක නිවේදිකාවන්. ඒ ගැන මොකද හිතෙන්නෙ ?

ඒක ගොඩක් මාධ්‍ය ආයතන වලින් කරන වැඩක්. ඒකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ එම ආයතනය. සමහර වෙලාවට අපි ලස්සන නමක් දා ගන්නවා .ඒ නම් ආකර්ෂණීය නිසා. බොහෝමයක් ගුවන්විදුලිය ආයතනවල වගේම අපෙත් තියෙනවා එහෙම ආරූඪ කරපු නම්. එකක් තමයි කොච්චි කියන නම. එහෙම නම් යොදන්න අවශ්‍යතාවයන් මතු වන තැන එනවා. ඒක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් තැන් තියෙනවා. මේක කරන්නේ බිස්නස් එකට හොඳ වෙන්න. මොකද කවදා හරි මේ නිවේදකයා ගියත් ඒ නම මාධ්‍ය ආයතනයට පාවිච්චි කරන්න පුළුවන් කියන තැන ඉදල තමයි මෙහෙම කරන්නේ. ඇත්තටම මම නම් ඒක මහ ලොකු සාර්ථකත්වය දකින්නේ නෑ. නම කියා ගත්තට වැඩක් නෑ වැඩ නැත්නම්. නමකින් ගේම ගහන්න බෑ. මිනිස්සු බලන්නේ නම නෙවෙයිනේ. නිවේදකයාගෙ නම මොකක්ද කියලා දැනගන්න නෙවෙයි මිනිස්සු වැඩසටහන බලන්නේ. නිවේදකයා කියලා කියන්නේ මොනවාද කියන එක තමයි වැඩසටහන අහනවද බලනවද කියන එක තීරණය වෙන්නේ. නමුත් සමහර වැඩසටහන් වලට ආකර්ෂණයට නිවේදකයාගේ නම මාරු කරනවා. අපි හිතනවා අපේ සියතෙ කොච්චි කියලා දාපු නම නිවේදිකාවගේ නියම නම පාවිච්චි කරනවාට වඩා ඉක්මනට ජනතාව අතරට ගියා කියලා.

ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තුව ?

මට මුණ ගැසෙන කවුරුන් හෝ නිවේදනයට කැමති අය ඉන්නවනම් මම කැමතියි ඒ අයට උදව් කරන්න. මොකද නිවේදකයා කියන භූමිකාව ඒ අය හිතාගෙන ඉන්නවට වඩා මහා වටිනාකමක් දෙන්න පුළුවන් කියන එක මට ඒ අයට උගන්වන්න ඕනේ. එයාලා හිතාගෙන ඉන්නවට වඩා හුඟක් දේවල් මේකෙ කරන්න පුළුවන්.ඒ වගේම මහා වටිනාකමක් දෙන්න පුළුවන් කියන එක මට ඒ අයට උගන්වන්න ඕනේ. එයාලා හිතාගෙන ඉන්නවට වඩා හුඟක් දේවල් කරන්න පුළුවන් කියන දේ මට ඒ ළමයින්ට උගන්වන්න ඕනේ. ඊට වඩා ජීවිතේ ගොඩක් දේවල් අරගෙන කරගන්න පුළුවන් වෙන තැනකට යන්න පුලුවන් කියන එක ඒ ළමයා මට විශ්වාස කරන්නේ ඔවුන්ට සමාජය කරන්න පුළුවන් බලපෑම සුළුපටු නෑ. මට ඕනෙ එහෙම පිරිසක් හදන්න. අඩුම තරමින් 100ක්වත් හදන්න මට වුවමනාව තියෙනවා. දැනට මම විසි පහක් තිහක් හදලා තියෙනවා .මට හිතෙනවා සීයක් විතර හදාගන්න පුළුවන්නම් හොඳයි කියලා. එහෙම ගෝල පරම්පරාවක් හැදුණේ අපේ ගුවන්විදුලි කලාව තව අවුරුදු ගානකට මිනිසුන්ට විශාල සේවයක් කරන මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. ඒක තමයි ලොකුම බලාපොරොත්තුව.

කාංචනා සිරිවර්ධන


News Articles
Latest Videos
Most Popular Post