News Line| Off Air| Games
Generic placeholder image

Jun
18

අතින් පඩි ගෙවලා ආරුගම්බේ වෙරළ සුද්ද කරන අපූරු සුද්දා

1976 Views


අතින් පඩි ගෙවලා ආරුගම්බේ වෙරළ සුද්ද කරන අපූරු සුද්දා

ආරුගම්බේ වෙරළ වෙනදාට වඩා වෙනස්ය. පොලිතීන් ප්ලාස්ටික් බෝතල්, ඇතුළු අප්‍රසන්න කසළ ගොඩක් සේ පෙනෙන වෙරළ කිරි සුදුවට බැබළෙන්නේය. එක කසළ කැබැල්ලක් නැත. දැක්කාමත් පුදුමය! බැලූබැල්මටම හිතෙන්නේ ප්‍රාදේශීය සභාව වැඩට බැස ඇතැයි කියාය.

මම මා සගයා විමසීමි. “මොකක්ද මල්ලි මේ වෙනස? සභාවෙ කට්ටිය වැඩ පටන් අරන්ද? සගයා මා දෙස බලන්නේ අවඥාවෙනි.

“පිස්සු තමයි අයියෙ! සභාව නෙමෙයි; මෙහෙ ඉන්නවා නියම සුද්දෙක්! සුද්දා මිනිස්සු ටිකක් කුලියට අරන් වෙරළ සුද්ද කරනවා, මිනිහත් වැඩ…” මම සගයා දෙස බැලීමි.

“මිනිහා කොහෙද ඉන්නෙ?

“මේ ළඟම ඇති අයියෙ. මිනිහා උදෙන්ම වැඩ පටන් ගන්නවා.” ඔහු මෑත වෙරළ තීරය දෙස නෙත් යොමාගෙන කීවේය. මේ අපූරු මිනිසා දකින තුරු නිනව්වක් නැත. මම සගයාත් සමඟ වෙරළ තීරය දිගේ ඔහු සොයා ගමන් කළෙමි. ඈතින් එක සීරුවට වෙරළ පිරිසුදු කරමින් සිටිනා පිරිසකි. ඔවුන් අතර අප සොයා යන අපූරු මිනිසා සිටින්නේය. තමා අවට සිටිනවුන් ගැන නොතකා ඔහු එක සීරුවට සිය කටයුත්තේ යෙදෙමින්ය.

අපේ බදුවලින් නඩත්තු වන, අපද්‍රව්‍ය කළමනාකරණය මූලික වගකීම කරගත් ආයතන සිය වගකීම පැහැර හරිද්දී විදේශිකයෙක් අපේ මිනිස්සුන්ට කුලී ගෙවා, අපේ සුන්දරම සංචාරක වෙරළ තීරය පිරිසුදු කරමින් හිඳී.

අපි ඔහු සමඟ කතාබහට උත්සාහ කරමින් සිටියෙමු. මේ විදේශිකයා යම් පමණකට සිංහල වහරන්නේය. ඔහුට මේ රටත් මිනිස්සුත් ඒ තරම් හුරුය. වැඩ කරන අතරේම ඔහු සිය කතාව ආරම්භ කළේ සීරුවටය. ඔහු ඔස්ට්‍රෙලියානු ජාතිකයෙකි; තවමත් අවිවාහකය. මේ වෙරළ තීරය දැන් ඔහුට ඔහුගේ ජීවිතය වී ඇත්තේය.

“මම ඔස්ට්‍රෙලියාවෙ ඉපදුණේ; ලංකාවට ආවෙ මීට අවුරුදු 17 කලින්. මං මේ රටට ආවෙ නවතින්න නෙමෙයි. ඒත් මේ රට පුදුමාකාර ලස්සන රටක්. මම ලංකාවෙ වැඩි කාලයක් රැඳෙන්න තීන්දු කළාට පස්සෙ ඔයිල් සහ ගෑස් සමාගමක වැඩ පරීක්ෂකයෙක් විදිහට රැකියාව ආරම්භ කළා. අරුගම්බෙ වෙරළට ආවෙ සර්පින් ක්‍රීඩාව කරන්න. ඒ 2001 අවුරුද්දෙ. මේ වෙරළ මාව වශී කළා. මං මගෙ මුදල් ආයෝජනය කරලා අරුගම්බෙ හෝටලයක් පටන් ගත්තා. අරුගම්බෙ ඕෂන් බීච් හෝටලය මගෙ.

“මේ ව්‍යාපාරය පටන් ගත්තෙ රටේ යුද්ධය තිබුණු කාලෙදි. ඒ වකවානුවෙදි මේ වෙරළෙ මිනිස්සු අඩුයි. සංචාරකයො අඩුයි. හෝටල් අඩුයි. ඒත් දැන් තත්ත්වය වෙනස්. අරුගම්බෙ ජනාකීර්ණයි. සංචාරකයෝ සංචාරක හෝටල් පිරිලා. ඒකෙ අතුරුපලය තමයි මේ කුණු කන්දරාව. මේ විනාශය මට බලාගෙන ඉන්න බැරි හින්දයි මේ විදිහට කරන්න හිතුවෙ…”

ඔහු කරමින් සිටිය කටයුත්ත මඳකට නතර කර මා සමඟ අසල පිහිටි සෙවණක් යටට ගියේය.
“තරුණයා. මේ රට හරිම ලස්සන රටක්. මං මුල් කාලෙ මේ රටේ ඇවිද්දේ මගෙ තාත්තාත් එක්ක. මං සීගිරියෙ ගියා, මිරිස්ස ගියා, අනුරාධපුර පොලොන්නරු ගියා. මං දැක්ක දුක හිතෙන සිද්ධිය තමයි මේ රටේ මිනිස්සු මේ පරිසරය හිතාමතාම විනාශ කරන විදිහ. මට හරිම පුදුමයි කොහොමද මෙහෙම හැඟීමක් නැතිව වැඩ කරන්නෙ කියලා. කැළිකසළ කිසිම විනයක් නැතිව හැම තැනම දාලා අවට අපවිත්‍ර කරන්නේ මේ ලස්සන තැන් බලන්න එන මිනිස්සුමද කියලා හිතනකොට මට පුදුම හිතුණා! මුහුදු වෙරළ හරිම ලස්සනයි කියලා ඈත ඉඳන් අරුගම්බෙට එන මිනිස්සු මේ වෙරළට පොලිතීන්, ප්ලාස්ටික්, වෙනත් කැළිකසළ දාලා අපවිත්‍ර කරලා යනවා

“බොහොම තැන්වල කසළ බඳුන් තියනවා. ඒත් මේ මිනිස්සු කසළ බඳුන්වලට කසළ දාන්නෙ නෑ. මේ වෙරළ මහා නරක විදිහට අපවිත්‍ර වෙලා තිබුණෙ. අරුගම්බෙ විතරක් නෙමෙයි; අවට හැමතැනම කුණු ගොඩක් වෙලයි තිබුණේ. මං ඒ ගැන ගොඩක් දෙනෙක් එක්ක කතා කළා. මේ කසළ ඉවත් කරන්න නිශ්චිත වැඩපිළිවෙළක් ගොඩනඟන්න උත්සාහ කළා. එකක් වත් හරිගියෙ නෑ. ඊට පස්සෙ මං කාටවත් කියන්න ගියෙ නෑ. මට පුළුවන් විදිහට මේ වෙරළ සුද්ද කරන්න පටන් ගත්තා. අරුගම්බෙ වෙරළ විතරක් නෙවෙයි; පොතුවිල, රදැල්ල, එලිෆන්ට් රොක්, මුහුදු මහා විහාරය, ක්‍රොකඩයිල් රොක්, මේන් පොයින්ට් සහ ප්‍රධාන පාර සුද්ද කළා. මේ හැම තැනම බැලුවම හිරිකිත විදිහට කුණුවලින් වැහිලා තිබුණේ.

“මේ වැඩේ කරන්න මං සේවකයන් 14 දෙනෙක් යොදවලා තියෙනවා. ඔවුන් ලවා ප්‍රදේශයේ කුණු එකතු කරනවා. ඒ එක්කෙනෙකුට දවසකට රුපියල් 800ක් ගෙවනවා. ඔවුන්ව සතියකට දවස් 4 ක් සේවයේ යොදවනවා. මුලදි මේ වැඩේ පහසු වුණේ නෑ. ඒ තම් කුණු තිබ්බා. වෙලාවකට මේ වැඩේ මහ නිෂ්ප්‍රයෝජන වැඩක්ද කියලා හිතුණා. මොකද: ඒ තරම් කුණු හැමදාම එකතු වෙනවා. එත් නිතරම පිරිසුදු කරන නිසා ගොඩගැහිලා තිබුණ කුණු කන්ද අඩු වුණා. දැන් කුණු විශාල ප්‍රමාණයක් එකතු වෙන්නෙ නෑ.

“මේ වෙනකොට මගේ වියදමින් වෙරළෙත්, ඒ අවටත් කුණු එකතු කිරීමේ බඳුන් සවි කරලා තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ හුඟ දෙනෙක් ඒවට කුණු දාන්නෙ නැති එක. දැන් අපේ වැඩසටහනට ක්‍රිස්තියානි සංවිධානයක් උදවු කරනවා. රජයෙන් මුහුදු වෙරළ සුද්ද කරන්න මැෂින්-එකක් ගේන වගට ආරංචියක් තියෙනවා. මට තේරෙන විදිහට මේක යන්ත්‍ර-සූත්‍රවලින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පරිසරය පිරිසුදු කරනවා කියන්නෙ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා ඇති කරගන්න ඕන පුරුද්දක්. ඒක පටන් ගන්න ඕනෑ ඉස්කෝලෙන්. පරිසරයට ආදරය කරන්න, පරිසරය විඳින්න කියා දෙන්න ඕනෑ පාසලෙන්.”

මේ විදේශිකයා මා අපහසුතාවට පත් කරන්නේය. මේ රට ගැනත්, රටේ වැඩ කෙරෙන ආකාරය ගැනත් මොහුට ඇති කියැවීම මොනතරම් තියුණුදැයි සිතෙන්නේය. ඔහු යළිත් මා වෙත හැරුණේය. “තරුණයා, මේක රටට කියන්න: මේ රටේ ඉන්නෙ හොඳ මිත්‍රශීලි මිනිස්සු. ඒත් ඔවුන් තමන් ජීවත් වන පරිසරයෙ පිරිසුදුකම ගැන හිතන්නෙ නෑ. මා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ ලස්සන රට අපවිත්‍ර කරගන්න එපා කියලා, තමන් ජීවත් වන පරිසරය අවට අපායක් හදාගන්න එපා කියලා.”

ඔහු මා වෙත සිය සුරත දිගු කළේය. මම ඒ සුරත මගේ දෑතින්ම වැලඳගතිමි. මේ මිනිසා කෙරේ උපදින්නේ අප්‍රමාණ ගෞරවයකි. මින් පෙර ජපන් ජාතිකයකු මාස කිහිපයක් පුරා තනිවම අම්පාර නගරයේ කුණු එකතු කළ ආකාරය මතකයට නැ‍ඟේ. මේ මිනිසුන් ලෝකය දිනා ඇත්තේ ඔවුන් ප්‍රගුණ කර ඇති විනය‍ තුළය.

සාගර දූෂණය සම්බන්ධයෙන් 2010 වසරේ එක්රැස් කරන ලද දත්ත ඇසුරෙන් ‘යුනිවර්සිටි ඔෆ් ජෝර්ජියා’ සරසවියට අනුබද්ධව කටයුතු කරන මහාචාර්ය ජෙනා ජැම්බෙක්ගේ ප්‍රධානත්වයෙන් 2015 වසරේදී පරීක්ෂණ වාර්තාවක් එළිදැක්විණි. ඒ වාර්තාවේ අඩංගු සංඛ්‍යාලේඛනවලට අනුව ලොව වෙරළ කලාපය දූෂණය කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉන්නේ පස්වැනි තැනය. අපට ඉහළින් ඉන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමයයි. ඒ වාර්තාව අපට කියන්නේ අපේ ගෝත්‍රිකත්වයේ ප්‍රමාණයය. ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගලයකු උත්පාදනය කරන කැළිකසළ ප්‍රමාණය කිලෝග්රෑම් 5.1කි. උත්පාදනය කෙරෙන සම්පූර්ණ කැළිකසළ ප්‍රමාණය කිලෝග්රෑම් 7,429,76කි. උත්පාදනය කෙරෙන ප්ලාස්ටික් කැළිකසළ ප්‍රමාණය කිලෝග්රෑම් 5,163,689කි. ඒ වාර්තාව අනුව ලංකාව වසකරකට කළමනාකරණය නොකර බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 159කි. අප ජීවත් වෙමින් සිටින්නේ ශිෂ්ටාචාරයේ ආගාධයටත් වඩා පහළිනි.

සමුද්‍රජීවී පරිසර අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප්කුමාර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මේ වාර්තාව සැකසීමේදී කරන ලද උපකල්පන සහ ගණන දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට වර්ගීකරණය වී ඇති බවයි. කෙසේ වෙතත් මේ රටේ සාගර වෙරළ කලාප දූෂණයට 80%ක ප්‍රමාණයක් බලපා ඇත්තේ ගොඩබිම ඔස්සේ හා ගංගා ඇළදොළ ඔස්සේ ගලාගෙන එන අපද්‍රව්‍යයය. ඒ යථාර්ථය අරුගම්බේදී අපට හමු වන ඔස්ට්‍රෙලියාවේ ඇන්ඩෘ හේලි කියා දෙන්නේය.

අරුගම්බේ අපායක් කළ කැළිකසළ විජාතිකයකු පැමිණ එකතු කරන තෙක් බලා සිටින්නට තරම් අප නිර්ලජ්ජිතය. එය රටේ ‘ඒකපුද්ගල විළිලජ්ජාව’ සම්බන්ධ ප්‍රශ්නයක් බව දැන්වත් අප තේරුම් ගත යුතුය.

– උපුටා ගැනිමකි –


News Articles
Latest Videos
Most Popular Post