News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

“නැහැ… එහෙම දෙයක් කළේ නැහැ, එහෙම ආදරයක් මට දැනට අවශ්‍ය නැහැ…” – නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් එක්ක සිද්ධ වුණ ඇත්තම දේ ධනුෂ්ක ගුණතිලක හෙළිකරයි.

1558 Views


“නැහැ… එහෙම දෙයක් කළේ නැහැ, එහෙම ආදරයක් මට දැනට අවශ්‍ය නැහැ…” – නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් එක්ක සිද්ධ වුණ ඇත්තම දේ ධනුෂ්ක ගුණතිලක හෙළිකරයි.

ශ‍්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරඟයෙන් පස්සේ ධනුෂ්ක ගුණතිලක ගැන මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි ජාලා ඔස්සේ ගොඩක් කතාබහට ලක් වුණා. ඒ ඔහුගේ දක්ෂතාවයන් ගැන නම් නෙමෙයි. නෝර්වේජියානු තරුණියන් දෙන්නෙක් එක්ක ඇති වුණ ගැටලුවක් ගැන. මේ සිද්ධියේ ඇත්ත නැත්ත සහ ඔහුගේ අනාගත බලාපොරොත්තු ගැන ධනුෂ්ක ගුණතිලක සති අන්ත පුවත්පතකට කියල තිබ්බේ මේ විදිහට…

* කොහොමද ධනුෂ්ක…
හොඳින් ඉන්නවා.

* කි‍්‍රකට්වලට යොමුවුණේ කොහොමද?
කුඩා කාලයේ සිටම මම කි‍්‍රකට්වලට ආස කළා. මුලින්ම මම පාසල් ගියේ පානදුර මහානාම විදුහලට. එහෙදි තමයි මම කි‍්‍රකට් ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ මහානාම විදුහලට ආවා. එතැන් සිට මම දිගටම කි‍්‍රකට් සෙල්ලම් කළා.

* ඒ කාලයේ දී ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වෙයි කියලා හිතුවද?
ඇත්තටම ආසාවක් තිබුණා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. කි‍්‍රකට් ගහන කෙනෙක්ගෙ බලාපොරොත්තුව ඒකනේ… මට වඩා මාව දිරිමත් කළේ මගේ තාත්තා. එයා නිතරම කිව්වා ‘පුතා ඔයාට කවදහරි දිනයක ශ‍්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ තරම් ඔයා දක්‍ෂයි කියලා’ තාත්තගේ ඒ වචන ආශිර්වාදයක් කරගෙන හැකි උපරිම අයුරින් මම කි‍්‍රකට් සෙල්ලම් කළා. ඒකෙ ප‍්‍රතිඵල තමයි අද මම භුක්ති විඳින්නේ.

* ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු බව දැනගත් මොහොතේ කොච්චර සතුටු වුණාද?
ඒක වචනවලින් කියන්න බැහැ. ඇත්තම කිව්වොත් එදා ? මට හරියට නින්ද ගියෙත් නැහැ. සතුට වැඩිකමට.

* පළමු ජාත්‍යන්තර තරගය සෙල්ලම් කරන විට හිතට බයක් දැනුණද?
එහෙම බයක් දැණුනේ නැහැ. මම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියලා හිතාගෙන තමයි ක‍්‍රීඩාංගණයට බැස්සේ. වෙනද විදිහටම සෙල්ලම් කළා. එච්චරයි.

* ඔබ ඉතා ඉක්මනින් ජනපි‍්‍රය ක‍්‍රීඩකයෙක් බවට පත්වුණා…
ඔව්. මමත් හිතනවා. එහෙම වුණා කියලා.

* දැන් ජනපි‍්‍රය ක‍්‍රීඩකයෙක් නිසා ප‍්‍රතිචාරත් ගොඩක් ලැබෙනවා ඇති?
ඔව්. ප‍්‍රතිචාර ගොඩක් ලැබෙනවා.

* ඒ අතර තරුණියන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
තරුණියන්ගෙනුත් සෑහෙන්න ප‍්‍රතිචාර ලැබෙනවා.

* තරුණියන්ගෙන් ප‍්‍රතිචාර විතරද ලැබෙන්නේ?
වෙන මොනව ලැබෙන්නද? කි‍්‍රකට්වලට කැමති සමහර තරුණියෝ මටත් කැමැතියි. ඒක සාමාන්‍ය දෙයක්.

* එම තරුණියන්ගෙන් ආදර යෝජනා පවා ඇවිල්ලා ඇතිනේ?
සමහරුන්ගෙන් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒවා ගැන මම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට අවශ්‍ය කි‍්‍රකට් සෙල්ලම් කරන්න විතරයි…

* ඔබට පෙම්වතියක් ඉන්නවද?
නැහැ. මට පෙම්වතියක් තවම නැහැ.

* ඒක පිළිගන්න අමාරුයි නේ…
ඇයි අමාරු. මම කියන්නේ ඇත්ත. මට පෙම්වතියක් නැහැ.

* ඒ කියන්නේ ආදරය ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ?
එහෙම ආදරයක් මට දැනට අවශ්‍ය නැහැ. මගේ අම්මා, තාත්තා, පවුලේ අයගෙන් ලැබෙන ආදරය දැනට හොඳටම ඇති.

* එතකොට කව්ද මේ සිල්ජේ තයිලෑන්?
එයා මගේ යෙහෙළියක්.

* නෝ්ර්වේ ජාතික තරුණියක් කොහොමද ඔබගේ යෙහෙළියක් වුණේ?
අපි දැන හඳුන ගත්තේ ෆේස් බුක් හරහා. ඒ දැනහැඳින ගැනීම තමයි යහළුකමට පෙරළුණේ.

* එතැන යහළුකමට එහා ගිය සම්බන්ධයක් තිබුණා නේද?
එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අමූලික බොරුවක්. මට මඩ ගහන්න කරපු දෙයක්.

*ජූලි 21 වැනි දින රාති‍්‍රයේ මොකක්ද සිද්ධ වුණේ?
එදින රාති‍්‍රයේ මට නෝර්වේජියානු යෙහෙළියව මුණගැසුණා.

* ඇයි හදිස්සියේම ඇයව මුණ ගැසුණේ?
ඇය පසුදින තම මව්රටට යන්න හිටියේ. මාගෙන් ඇසුවා යන්න ඉස්සෙල්ලා මුණගැසෙමුද කියලා. ඉතින් මම හා කිව්වා.

* කොහේදිද මුණගැසුණේ?
එදින මම නැවතිලා හිටිය කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකදී.

* ඇය තනියමද ආවේ?
නැහැ. ඇයගේ මිතුරියක් ආවා. මම ඇයව දන්නේ නැහැ.

* සන්දීප් ජූඞ් සෙල්ලයියා කියන්නේ කව්ද?
මම දන්න යාළුවෙක්. එංගලන්ත පුරවැසිභාවය තියෙන ශ‍්‍රී ලාංකිකයෙක්. එයා එංගලන්තේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමකට සෙල්ලම් කරනවා. නිවාඩුවකට තමයි ශ‍්‍රී ලංකාවට ඇවිත් තියෙන්නේ.

* එදින රාති‍්‍රයේ සන්දීප් සහ නෝර්වේජියානු තරුණියන් දෙදෙනෙක් එක්ක ඔබ මත්පැන් පානය කළා නේද?
නැහැ. එහෙම දෙයක් කළේ නැහැ. එදින මම මුණගැසුණේ තයිලෑන් කියන මගේ මිතුරියව විතරයි. අපි මත්පැන් පානය කළේ නැහැ.

* එතකොට තයිලෑන්ගේ මිතුරිය වන හෙජ් බැකින්සින් තමාව දූෂණය කළා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ ඇයි?
ඒක මම දන්නේ නැහැ. මට විරුද්ධ කවුරුත් පැමිණිල්ලක් දාලා නැහැනේ. එම තරුණිය සන්දීප්ට විරුද්ධව තමයි පැමිණිල්ල දාලා තියෙන්නේ. එතැන කිසිම තැනක මගේ නම සඳහන්වෙලා නැහැ.

* ඒ වුණාට රටම දැනගන්නේ මෙම සිද්ධියට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයි කියලනේ…
ඒක අමුලික බොරුවක්. මම නැවතත් කියා සිටිනවා එම සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේක මගේ නම කැත කරන්න කරපු වැඩක්.

* ඇයි ඔබ එහෙම කියන්නේ?
නැහැ. මට දැනගන්න ලැබුණා. සමහර වෙබ්සයිට්වලට සල්ලි දීලා මෙම සිද්ධියට මගේ නම සම්බන්ධ කරලා මඩ ගහන්න කියලා තියෙනවා.

* කව්ද එහෙම කරන්නේ?
මට විරුද්ධ කට්ටියක් තමයි එහෙම කරලා තියෙන්නෙ.

* ඇයි ඔබට කට්ටිය විරුද්ධ?
කි‍්‍රකට් සෙල්ලම් කරන නිසා වෙන්නැති

* කොහොම කීවත් එම තරුණිය දූෂණය කර තිබෙන්නේ ඔබගේ මිතුරා අතින්නේ…
ඔහු මගේ මිතුරා වුණාට මම මේ සිද්ධියට සම්බන්ධ නැහැනේ… අඩුගානේ ඒ තරුණියගේ අතින්වත් අල්ලලා නැහැ. මම මේ සිද්ධියට සම්බන්ධ නම් ඇයට පොලිසියේ දී කියන්න තිබුණනේ මගේ නමත්. ඇය මට විරුද්ධව කිසිවක් කියලා නැහැ. ඒකෙන්ම තේරෙනවනේ මම මේ සිද්ධියට සම්බන්ධ නැහැ කියලා.

* අවසන් වරටත් ඔබ කියන්නේ එම සිද්ධියට ඔබගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලද?
නැහැ තමයි. එහෙම සම්බන්ධයක් තිබුණනම් මටත් පොලිසියට යන්න වෙනවනේ…

* ඔබගේ මිතුරිය තයිලෑන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කුමක්ද පැවසුවේ?
ඇය ගොඩක් දුක්වුණා.

* තයිලෑන් මෙම සිද්ධිය නිසා ඔබ සමගත් අමනාප වුණාද?
නැහැ. මම වරදක් කරලා නැහැනේ… ඒක නිසා මගෙත් එක්ක තරහ වෙන්න හේතුවක් නැහැනේ…

*  ඔබ වරදක් කරලා නැත්නම් තරග තහනමකට ලක්වුණේ කෙසේද?
ඒ මම කාමරයට ප‍්‍රමාදවෙලා ආපු නිසා.

* ඇයි ප‍්‍රමාදවෙලා කාමරයට ආවේ?
තයිලෑන් මුණගැසුණ නිසා.

* මෙම සිද්ධිය නිසා ඔබගේ නම කැතවුණා කියලා හිතෙන්නේ නැද්ද?
නොකළ වරදකට මගේ නම ගෑවුණ නිසා මට ලොකු හානියක් වුණා. ඒ වගේම තව පිරිසකට උවමනා වුණා මෙම සිද්ධියට මගේ නම පටලවාගෙන මට මඩ ගහන්න.

* ඒ කියන්නේ මෙම සිද්ධිය සමග ඔබ මානසිකවත් වැටුණා…
ඇත්තටම එකපාරට මට මේක දරාගන්න බැරිවුණා. ඒත් පසුව මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ සහ ළඟින් ඇසුරු කරන හුඟ දෙනෙක් මගෙත් එක්ක හිටියා. ඔවුන් මාගේ හිත හැදුවා.

* පෙම්වතියක් සොයා ගන්න කාලය දැන් හරි නේද?
ඒ ගැන තවම හිතලා නැහැ.

* ඇයි ඒ….?
කි‍්‍රකට්වලින් මට තව ඉදිරියට යන්න තියෙනවා. ඒ සඳහා තව ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒක නිසා ආදරය ගැන පසුව හිතනවා.

* ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙනවා නේද?
ආදරයට එහෙම වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා.


News Articles
Latest Videos
Most Popular Post