News Line| Off Air| Games
Generic placeholder image

Aug
13

“මම අගමැතිතුමාට කිව්වා මට උම්මා එකක් ඕනේ කියලා.” – අගමැතිගෙන් හාදුව ඉල්ලා ගත්ත හැටි පූජා හෙළිකරයි.

1198 Views


“මම අගමැතිතුමාට කිව්වා මට උම්මා එකක් ඕනේ කියලා.” –  අගමැතිගෙන් හාදුව ඉල්ලා ගත්ත හැටි පූජා හෙළිකරයි.

ඉන්දියාවෙන් ලංකාවේ රිදී තිරයට පායපු තරුවක් තමයි පූජා උමාශංකර්. ඒ වගේම කෙටි කාලයකින් ලංකාවේ රසික හදවත් සොරා ගන්න ඇය සමත් වුණා. පහුගිය දා තිබ්බ සරසවි සම්මාන උළලේ හොඳම 2017 වසරේ හොඳම නිළි සම්මානය දිනා ගත්තේ පූජා.

ඒ වුනත් රටේ වැඩියෙන්ම කතා වුණේ ඇය ගත්ත සම්මානය ගැන නම් නෙවෙයි. සම්මානය ගන්න ගිහින් අගමැතිතුමාගෙන් ඉල්ල ගත්ත හාදුව ගැන. ඇත්තටම වේදිකාව උඩදී මොකද වුණේ? අගමැතිතුමා මොකද කිව්වේ? මේ දේවල් ගැන පූජා සති අන්ත පුවත්පතකට කියලා තිබ්බා.

මේ තියෙන්නේ ඒ සංවාදය…

මෙවර සරසවිය සම්මාන උළෙලේදී 2017 වසරේ හොඳම නිළි සම්මානය ඔබට ලැබුණා. ලංකාවේදී පළමු වතාවට හොඳම නිළි සම්මානය ගනිද්දි සතුටු ඇති ?

අම්මෝ ඇති යාන්තම් හොඳම නිළි සම්මානයක් මට ලැබුණා. හොඳම නිළිය වෙනවා කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඉතින් හොඳම නිළිය සම්මානයක් ලැබුණාම ඒ සතුටට තාම මම පාවි පාවි ඉන්නවා වගේ දැනෙන්නේ.

ජනප්‍රිය නිළි සම්මානය ලබාගෙන තිබ්බ නිසා ඊළඟ බලාපොරොත්තුව වුණේ හොඳම නිළි සම්මානය නෙමෙයිද?

හොඳම නිළියට මම නොමිනේට් වෙයි කියලාවත් මම හිතුවේ නැහැ. ජනප්‍රිය අංශයේ විතරයිනේ මගේ නම කොහොමත් දාන්නේ. ඒක හොඳයි. මට ඒක ගැටලුවක් නැහැ. මට ආරංචි වුණා මෙවර සම්මාන උළෙලේ ජනප්‍රිය අංශයේ සම්මාන නෑ කියලා. එතකොට මම හිතුවේ මට සම්මානයක් තියෙන එකක් නෑ කියලා.

කොහේ හිටියත් සම්මාන උළෙලවලට පූජා එනවා නේද?

සරසවිය සම්මාන උළෙල ලොකු සම්මාන උළෙලක්නේ. කොච්චර කාලෙකට පස්සෙද ඒක තියෙන්නේ. ඉතින් මට සම්මාන උළෙලට එන්න ආසාවක් තිබුණා. ඒකට මම අනිවාර්යයෙන් එන්න ඕන කියලා හිතුවා. මම බැංගලෝර්වල හිටියේ. පසුගිය 3 වැනිදා උදේම මම ලංකාවට ආවේ සම්මාන උළෙලට යන්න ආසාව තිබුණු නිසා. අත්පුඩි ගහන්න ආපු මම දින්නත් එක්ක.

පූජාට හොඳම නිළිය සම්මානය ලැබුණම අනෙක් අයත් පූජා වගේම ඒ ගැන සතුටු වෙනවා ඇතිද?

ෆේස්බුක් එකෙන් ගොඩක් අය මට සුබපතලා තියෙනවා. ඒ අයට තෑන්ක්ස් කරලා කමෙන්ට් දාලා මට අතත් රිදෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසානේ මට මේ සම්මාන ලැබෙන්නේ. ඒක දෙවියෝ මට දීපු ආශීර්වාදයක්.

සැමියා පූජාගේ ජයග්‍රහණය ගැන සතුටු වෙනවත් ඇති?

ඔව්. එයා මට නිදහසේ වැඩ කරන්න දෙන කෙනෙක්. එයා මගේ ජයග්‍රහණය ගැනත් ගොඩක් සතුටු වෙනවා. යන යන තැන එන්න එයාට බැහැ. නමුත් එයා මට ලොකු සහායක් දෙනවා.

සම්මාන උළෙලේදී පූජා සම්මානය ගත්ත විදියත් මේ වෙනකොට හැමෝගෙම අවදානයට ලක්වෙලා?

සම්මානය ගත්ත හැටියට හැමෝම මට හිනාවෙනවා. දිනනවා කියලාම සම්මාන උළෙලට ආවා නම් හිතලා ඉන්නවනේ. එක පාර සම්මානයක් ලැබෙද්දි මට ආව සතුටට තමයි මම එහෙම හැසිරුණේ. සරිගම චිත්‍රපටය වෙනුවෙන්නේ මට ඒ සම්මානය ලැබුණේ. ගොඩක් අය කියනවා මම සරිගම චිත්‍රපටයෙදිත් දඟයි වේදිකාවෙදිත් ඒ වගේම දඟයි කියලා. කමක් නෑ ඉතින් මම දඟයි කියලා හිතුවට.

පූජා අගමැතිතුමාගෙන් සම්මානය ගත්ත හැටිත් හැමෝගෙම මතකයේ තිබෙනවා. මොකක්ද ඇත්තටම ඒ වේදිකාවෙදි වුණේ?

මම වේදිකාවට යද්දි මගේ වම් පැත්තෙ රන්ජන් අයියා හිටියා. මම ළඟදි රන්ජන් අයියා, චන්න විජේවර්ධන මාස්ටර්, උදාරි, උපේක්ෂා, ශනුද්‍රි, අමිල, පුබුදු, ස්වර්ණා මල්ලවආරච්චි අක්කි, ජීවන් අයියා එක්ක මෙල්බන් ගියා සිනෙතරු රැයක් කියන වැඩසටහනට. එතැනදි හැමෝම එක්ක මම යාළු වුණා. ඉතින් මම වේදිකාවට යන්න කලින් රන්ජන් අයියාගෙන් කිස් එකක් ගත්තා. වේදිකාවෙදි අගමැතිතුමා කිව්වා ‘ෂා ඇඳුම ලස්සනයි’ කියලා. ‘ඉන්නකෝ, මෙහෙම කරනකොට දිලිසෙනවා බලන්නකෝ කියලා මම ඇඳුම කරකවලා පෙන්නුවා. ඇඳුමේ ස්ටෝන් එතකොට ලස්සනට පේනවා. මම ලස්සනයිද ඇහුවම අගමැතිතුමා කිව්වා ‘ ආ……… ඔව් ලස්සනයි’ කියලා. සම්මානය ගනිද්දි මම එතුමට කිව්වා ඔබගේ අතින් සම්මානය ගන්න ලැබීම ගෞරවයක් කියලා.

එතකොට අගමැතිතුමා මොකද කිව්වේ?

ඔයා එන්න කලින් රන්ජන්ගෙන් කිස් ගත්තනේ. සම්මානය ගන්නවට වඩා ලොකු රන්ජන්ගේ කිස් එකනේ කියලා ඔහු මට හිනාවෙලා කිව්වා. ඊට පස්සේ මම ඔහුගෙන් ඇහුවා ‘සර් මට කිස් එකක් දෙන්න අවසර දෙනවද කියලා. එක කිස් එකක් දුන්නට පස්සේ මට තව එකක් ඕනේ කියලා මම කිව්වා. ඒක තමයි වුණේ.

පූජාට නේද හාදුවක් ඕන වෙලා තිබුණේ?

ඔව්. මට ඕන නිසා තමයි මම ඉල්ලුවේ. මිනිස්සු හිතනවා මෙයා කොහොමද අගමැතිතුමාගෙන් කිස් එකක් ගත්තේ කියලා. ජීවිතයේ මොනවා හරි ඕනේ නම් ඒක කෙනකුගෙන් ඉල්ලන්න ඕන. ඉල්ලුවොත් විතරයිනේ දෙයක් හම්බවෙන්නේ. ඒ වගේ මම අගමැතිතුමාට කිව්වා මට උම්මා එකක් ඕනේ කියලා. ඊට පස්සේ එකක් නෙමෙයි දෙකක්ම දුන්නා.

එහෙම ඉල්ලන්න පූජා දෙපාරක් හිතුවේ නැද්ද?

මට එහෙම හිතන්න වෙලාවක් තිබ්බේ නෑ. එයා කිස් එකක් දුන්නේ නැත්නම් මම එයාට කිස් එකක් දෙනවා. මේක දේශපාලන වේදිකාවක් නෙමෙයිනේ. මේක සතුටෙන් ආදරයෙන් පිරුණු සම්මාන උළෙලක්. එතැනදි දේශපාලන වේදිකාවක වගේ ඉන්න ඕනේ නෑනේ. මට දේශපාලනය එක්ක සම්බන්ධතාවක් නෑනේ. මම සම්මාන උළෙලට ගිහින් අත රිදෙනකල් හැමෝටම අත්පුඩි ගැහුවා. මට විසිල් ගහන්න බැරි නිසා මම විසිල් ගැහුවේ නැහැ. නැත්නම් විසිලුත් ගහනවා. එතැන ඉන්න ඕන සතුටෙන්. මම ඒ සතුටෙන් තමයි වේදිකාවට ගියේ. මට දේශපාලනයද කියලා අදාළ නැහැ.

අගමැතිතුමා පූජාට දුන්න හාදුව ගැන සමාජ මාධ්‍යවලත් හරි හරියට කතා කරන්න අරගෙන ?

මට තාම ගොසිප්වල දාලා තියෙන ඒවා කියවන්න තේරෙන්නේ නැහැ. මට බැනලා දාලා තියෙනවද කියලත් මම දන්නේ නැහැ.

ඒ හාදුව ලිප් කිස් එකක් කියලත් සමහරු කියන්න අරගෙන?

අනේ නැහැ. අගමැතිතුමා හිතුවේ නැහැ මම කිස් එකක් ඉල්ලයි කියලා. එයා දෙවැනි උම්මා එක ඉක්මනට දුන්නා. ඒක ෆොටෝවලට අරගෙන තිබෙන අෑන්ගල් එකෙන් පේන්නෙ ලිප් කිස් එකක් වගේනේ. එයා මගේ තාත්තා වගේ. සතුටින් මම ඒ සම්මානය ගත්තේ. හදවත සතුටින් තියෙනවා නම් ඒක පෙන්නන්න ඕන. මම ඒ වගේ. අනෙක් අයගේ සතුටින් එතකොට තවත් සතුටු වෙන්න පුළුවන්.

පූජාගේ අම්මා ලංකාවෙන් ගියාලු නේද?

මගේ සීයා නැති වුණානේ. මගේ අම්මව තාත්තා ඉන්න බැංගලෝර්වලටම එක්ක ගියා. මෙච්චර දවසක් ලංකාවේ හිටියනේ ඉතින්. එයාව සෙට්ල් කරලා ඊට පස්සේ මට නිදහස්. අම්මටයි තාත්තටයි මම උදවු කරන්න ඕනෙනේ.

අලුත් රංගන කටයුතු පටන් ගත්තද?

මම අලුත් රංගන වැඩකටයුතු ඔක්කොම ලබන අවුරුද්දේ පටන් ගන්නේ. දැන් විවාහ වෙලානේ. ඉතින් ඒ වගකීම් එක්ක අලුත් රංගන වැඩකටයුතු ලබන අවුරුද්දේ පටන් ගන්නවා.

මොනවද අනෙක් වැඩ කටයුතු?

ජාත්‍යන්තර යොවුන් දිනය, කාන්තා දිනය, ළමා දිනය වගේ බොහෝ අවස්ථා නියෝජනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. ළමා ගම්මාන එක්ක වැඩ කරලා හැමෝම එක්කම සහයෝගයෙන් වැඩ කරලා මම සතුටු වෙනවා. මම මේ දවස්වල ගාල්ල, යාපනය වගේ ලංකාවේ බොහෝ තැන්වලට ගිහින් හැමෝම එක්ක කතාබහ කරලා ඔවුන් එක්ක වැඩ කරලා ගොඩක් සතුටු වෙනවා ඒ දේවල්වලින්.


News Articles
Latest Videos
Most Popular Post