News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

“විනීත බව යනු ස්ත්‍රියකගේ සායේ දිග පළල නොවේ” – මඩ ප්‍රහාර වලට සමනලී කිව්ව සැර කතාව.

2586 Views


“විනීත බව යනු ස්ත්‍රියකගේ සායේ දිග පළල නොවේ” – මඩ ප්‍රහාර වලට සමනලී කිව්ව සැර කතාව.

සමනලී ෆොන්සේකා කියන්නේ නව පුරපුරේ දක්ෂ නිළියක්. ඒ වගේම කෙලින් කරන රැඩිකල් තරුණියක්. මේ නිසාම ඇය ගොඩක් වෙලාවට විවේචනට ලක්වෙනවා. මේ දවස්වල ඇයට විරුද්ධව බුකියේ මඩ ප්‍රචාරයක් යනවා.

ඒ ඇය ආගම් වලට අපහාස ප්‍රකාශයන් කරා කියලා. කාලයක් තිස්සේ මේ මඩ ප්‍රචාර ගැන ඉවසීමෙන් හිටිය සමනලී අද ඒ රිදෙන්න උත්තර දුන්නා. ඒ Facebook සටහනකින්. මේ තියෙන්නේ ඒ සටහන.

“මේ නොවැදගත් ක්‍රියාව ගැන කිසිවක් නොලියා සිටීමට කලින් සිතුවද මෙය තවදුරටත් නොවැදගත්ම නොවන යැයි හැඟුන නිසා මෙය ලියා තැබීමට තීරණය කළෙමි.

කලාකරුවන් පරස්පර දේශපාලන මතයන් දැරූ අවස්තාවන් අතීතය පුරා ලංකාව තුල අප දැක ඇත. ඇතැම් අවස්ථාවලදී පාතාල පක්ෂ දේශපාලන බලයේ ප්‍රහාරයන්, තර්ජනයන් වලට ඔවුන් ලක් වුණද, සාමාන්‍ය සමාජයේ තර්ජනයන් වලට ඔවුන් හට මුහුණ පාන්නට සිදුවුණේ ඉතාමත් අල්ප ලෙසය. එහෙත් අද වනවිට මේ පාතාල පක්ෂ දේශපාලන බලය ඉතා දරුණු ලෙස සාමාන්‍ය ජනතාව අතට ද පත් වෙමින් පවතී. එයට මූලික හේතුව සමාජ ජාලා වෙබ් අඩවි වුවද, මෙය ඉතා සංවිධානාත්මකව සිදුකරනු ලබන ම්ලේච්ඡ ක්‍රියාවකි. මේ මොහොතේ මා විසින් සිදු කළා යැයි කියනා ක්‍රිස්තියානි ආගමකට අපහාස වන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් මාගේ රූපය භාවිතා කරමින් සමාජ ජාලා වෙබ් අඩවි හරහා සීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී. මීට පෙරද ඒ ආකාරයේම බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් මා විසින් සිදු කළා යැයි මාගේ රූපය භාවිතා කරමින් ව්‍යාජ ප්‍රචාරයක් මොවුන් විසින්ම ගෙනයනු ලැබිණ. මෙවැනි කිසිඳු ප්‍රකාශයක්, කිසිඳු දිනෙක, කිසිඳු තැනක හෝ ලියවිල්ලක, කිසිවෙකු ඉදිරියේ මා සිදු කර නැති අතර මා එසේ සිදුකොට ඇත්නම් ඒවා සාක්ෂි සහිතව ඉදිරිපත් කර මා හට නඩු පවරන ලෙසට මා මෙවැනි බියගුල්ලන්ට ප්‍රකාශකර සිටිනවා.

මම මහා නිළියකට සරිලන ජීවිතයක් නඩත්තු කරන්නියක නොවෙමි. මා ඉතාම සාමාන්‍ය ලෙස, සාමාන්‍ය ජනතාව සමඟ ජීවත් වන කෙනෙකි. මේ අතිශය සදාචාර විරෝධී ක්‍රියා මගින් ස්ත්‍රියක ලෙස මගේ එදිනෙදා ජීවිතයට විය හැකි තර්ජනයන් සුළුවෙන් තැකිය නොහැක. කෙනෙකුගේ ජීවිතයක්, ආත්ම ගෞරවයක් පිළිබඳව හැඟීම් මාත්‍රයක් හෝ නොමැති මෙවන් ආත්ම ශක්තිය හීන පහත් මින්සුන් තමා අදහන ආගමටකටවත්, තමා ජීවත් වන සමාජයටවත්, තමා විශ්වාස කරන දේශපාලනයටවත් කිසිදා සවිඤ්ඤාණික වූ පිරිසක් නොවේ. ඔවුන් පුද්ගල අනන්‍යතාවයක් නොමැති ඕපපාතිකයන්‍ ය, හෘදසාක්ෂියක් නොමැති නිවටයන්ය, මෙවන් පටු දේශපාලන වාසි වෙනුවෙන් පෙනී සිටිමින්, තමාව සදාචාරාත්මකව ප්‍රශ්න නොකොට ඕනෑම දෙයක් කිරීමට සූදානම් පිරිසකින් සමාජයකට සිදුවන කිසිඳු හෝ යහපතක් නැත.

විනීත බව යනු ස්ත්‍රියකගේ සායේ දිග පළල නොවේ, විනීත බව යනු සමාජයක් ලෙස අපි එකිනෙකා කෙරෙහි දක්වන ආදරය හා ගෞරවය යි. විනීත බව යනු කුමන මත ගැටුම්, පරස්පරතා තිබුණද අපි එකෙනෙකා කෙරෙහි දක්වන විවේචනයේ ඇති සදාචාරාත්මක විශ්වාසවන්ත භාවයයි. ස්වකීය අවංකභාවයන් දිය වී යන, මෙවන් හැඟීම් දැනීම් නැති ප්ලාස්ටික් සමාජයක මූලයන් මා ජීවත් වී සිටියදීම දැක ගැනීමට ලැබීම ඉතාම ඛේදජනක තත්ත්වයකි. එහෙත් මේ කිසිඳු සිදුවීමක් නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙම සමාජය වෙනස් කිරීම සඳහා තව තවත් වැඩ කළ යුතුය යන සිතිවිල්ලට මා අත්හැර යන්නට කිසිදිනෙක මා ඉඩ දෙන්නේ නැත…! ආදරය වැඩි ඈතක නොවේ… ස්තූතියි…!”

– සමනලී ෆොන්සේකා.

* හැකිනම් ශෙයා කරන්න…!


News Articles
Latest Videos
Most Popular Post