News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

20 වසරකට පසු කෝලි ලංකාවෙන් පලිගනී…

2034 Views


20 වසරකට පසු කෝලි ලංකාවෙන් පලිගනී…

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ 4 වන දිනය අද. පෝයට නිවාඩු ගන්න ඕන නිසාද දන්නේ නෑ Match එක අදම ඉවර වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තාමත් කඩන්න බැරි වූන වාර්තා තියපු අද වගේ දවසකම ඉන්දියාව අපිට එරෙහිව වාර්තා තියල තරගේ දිනපු එකනම් හරිම දෛවෝපගතයි. ඉන්දීය කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 56 ක දැවැන්ත ජයක් ලබා ගන්න අද පුළුවන් වුනා.

කාසියේ වාසියේ ඉදන්ම වැඩි වාසි ලබා ගත්තේ ඉන්දියාව. පිතිකරුවන්ගේ පාරාදීසයක් වුන SSC පිටියේදි පලවෙනි පන්දුවේ ඉදලම තලන යකඩෙට උඩ පැන පැන තලන්න වගේ ලංකාවේ පන්දු යවන්නන්ට ඉන්දීය පිතිකරුවෝ පහර දුන්නා.

පළවෙනි ඉනිමේදි ශතක 2 එක්ක අර්ධ ශතක 4 ක් ලබා ගනිමින් ලකුණු 622 ක දැවැන්ත ලකුණු පුවරුවක් ඉන්දියාව ලබා ගත්තා. කිසිම අනුකම්පාවක් නැතුව සෙල්ලම් කරපු පුජාරා සහ රහානේ ශතක වාර්තා කරන්න සමත් වුනා. කෝලි ලකුණු 13 කට දැවී ගියත් රාහුල්, සාහා, අශ්වින් සහ ජඩේජා අර්ධ ශතක වාර්තා කරා. රංගන හේරත්ට විතරයි යම් තරමකට හරි ඉන්දියාවේ පිතිකරුවෝ පාලනය කරන්න පුළුවන් වුනේ. ඔහුට කඩුලු 4 ක් ලබා ගන්න පුළුවන් වුනා. මංගල ටෙස්ට් තරගයට සෙල්ලම් කරන මලින්ද පුෂ්පකුමාර කඩුලු 2 දවා ගත්තා.

ලකුණු 622 ක ලකුණු පුවරුවට උත්තර බදින්න පිටියට ආපු ලංකාවේ පලවෙනි කඩුලු 2 ම ඉතා ඉක්මනින් දැවී ගියේ වැලේ වැල් නැති කරලා. දික්වැල්ල ඇරෙන්න ලංකාවේ අනිත් සේරම ක්‍රීඩකයෝ ලකුණු 26 ට අඩුවෙන් දැවී ගියා. දික්වැල්ල ලකුණු 51 යි. තරංග, ධනංජය සහ ප්‍රදීප් ලකුණු නොලබාම දැවී ගියෙ ලංකාව කබලෙන් ළිපට ඇදල දාලා. කඩුලු 5 ක් දවා ගත්ත අශ්වින් ලංකාවේ පලවෙනි ඉනිම සුනු විසුනු කරා. ෂාමි සහ ජඩේජා කඩුලු 2 බැගින් ලබා ගත්තා. කොහොම වුනත් ලංකාවට පළමු ඉනිමේ ලකුණු 183 කට වඩා ලබා ගන්න ඉන්දියානු කණ්ඩායම ඉඩ දුන්නෙ නෑ.

ඉනිමක පරාජයේ අවමානයෙන් ගැලවෙන්න ලංකාව දෙවෙනි ඉනිම පටන් ගද්දිම ඉන්දියාව හිටියෙ ලකුණු 439 ක් ඉස්සරහින්. ආයෙත් අසාර්ථක වුන තරංග ලකුණු 2 කට දැවී ගියා. ඊට පස්සේ දිමුත් සමගින් කුසල් පිටියේ එක් වුනා. ඔවුන් දෙදෙනා එක්ක ගොඩනැගුව ලකුණු 191 සබදතාව ලංකාවේ ජාමේ බේර ගත්තා. ටෙස්ට් තරගයක ලකුණු හබා යාමේදී එකම ඉනිමක ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙන්නෙක් ශතක වාර්තා කර පළවෙනි අවස්ථාව විදියට මේ සබදතාව සටහන් වුනා. හතරේ පහරවල් 17 එක්ක කුසල් 110 ක් ගැහුවා. ලංකාවේ ඉනිමේ කොදු නාරටිය වුන දිමුත් ලකුණු 141 ලබා ගත්තෙ හතරේ පහරවල් 16 එක්ක. ලකුණු හබා යාමේදී ශතක 2 ක් වාර්තා කළ ලංකාවේ පලවෙනි ක්‍රීඩකයා විදියට වාර්තා අතරට යන්න දිමුත්ට පුළුවන් වුනා.

කොහොම වුනත් දෙවෙනි ඉනිමේදී ලංකාවේ ක්‍රීඩකයන්ගේ භීතිකාව වුනේ ජඩේජා. ලංකාවේ කඩුලු 5 ක් ම බිද දමන්න ජඩේජට පුලුවන් වුනා. පාන්ඩේ සහ අශ්වින් කඩුලු 2 බැගින් ලබා ගෙන ජඩේජට හොද සහයක් ලබා දුන්නා. කොහොම වුනත් ලංකාවේ ක්‍රීඩකයන්ට ඉනිමක පරාජයෙන් වත් බේරෙන්න බැරි වුනා. දෙවෙනි ඉනිමේදීත් සියලු දෙනාම දැවී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 386 ක් විතරයි.

මීට හරියටම අවුරුදු 20 කට කලින් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඉන්දීයාවට ආත්ම ගානක් මතක හිටින පාඩමක් උගන්නන්න ලංකාවට පුළුවන් වුනා. ඒ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී කණ්ඩායමක් රැස් කරගත් ඉහලම ලකුණු පුවරුව වාර්තා කරමින්. එදා සනත්, රොෂාන් ඇතුළු සිංහයො ටික කඩුලු 6 ට ලකුණු 952 ක් රැස් කරා. අවුරුදු 20 ක් ගිහිල්ලත් තාම කිසිම කණ්ඩායමකට ඒ වාර්තාව බිදින්න බැරි වුනා, හැබැයි එදා තමන්ට සිද්ද වුන ලැජ්ජාවේ වාඩුව නම් අවුරුදු 20 ක් සම්පූර්ණ වෙද්දී ලබා ගන්න ඉන්දියාවට පුළුවන් වුනා. ඒ අද තරගය ජය ගනිමින්. මොකද අද ඉන්දියාව ජය ගත්තෙ වාර්තා පොත් අලුත් කරමින්. ඉන්දියානු කණ්ඩායමක් ලංකාවේ ටෙස්ට් තරගයකදී ඉනිමක ජයක් ලබා ගත්ත පලවෙනි අවස්තාව මේක. ඒ වගේම ලංකාවේදී ටෙස්ට් තරගාවලි 2 ක් දිනපු පළවෙනි ඉන්දීය නායකයා වෙන්න කෝලිට පුළුවන් වුනා. ඉන්දීය කණ්ඩායමේ මේ තරගාවලි ජයත් එක්ක පිට පිටම තෙවන වැඩිම තරගාවලි ජයක් වාර්තා කල කණ්ඩායම වෙන්න ඔවුන්ට පුලුවන් වුනා.

ටෙස්ට් කණ්ඩායම් අතර දැවන්තයාගේ මේ ප්‍රහාරයත් එක්ක ලංකාව තවත් අමාරු අඩියකට වැටුනා. කොහොම වුනත් අපි බලමු අන්තිම තරගෙවත් ලංකාවට දිනා ගන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි ඉතිං දැන්නම් අපිට නැතිවෙන්න දේකුත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post