ජෙෆ්ට තිබුණේ තඹ පාට , සිනිදු , තුනී කොණ්ඩයක්. හුරුබුහුටි මුහුණක්. තියුණු ඇස් දෙකක් වගේම අධිෂ්ඨානශීලි හදවතක්. උදේ වරුව කොහේ ගත කළත් ඔහු බොහෝ හැන්දෑවන් ගත කළේ සීයගේ ගොවිපොළේ කෙළවරේම තියෙන බංකුවේ ගුලි වෙලා, අහස දිහා බලාගෙන. කොහොමත් ඔහු ගහ කොළට ආදරෙයි.ඊටත් වඩා අහසට .ඔහුට ඕනි වුණේ මුලු අහසම ඔහුගේ කරගන්න. “සිහින දකින්නන්ට අහසත් සීමාවක් නෙවෙයි” කියලා ,දවසක් සීයා පුංචි ජෙෆ්ට කිව්වා.

අද ඔහු ලොවම දන්නා ,ලොව ධනවත්ම පුද්ගලයා . jeff basoz.
ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 90 ට වැඩියි .
ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් 13794300000000.00 ක් .. (පුලුවන්නං කීයක්ද කියන්න)

ඔහු එක්දහස් නවසිය හැට හතරේ ජනවාරි මාසයේ ජෙෆ්රි ප්‍රිස්ටෝන් Jorgensenlit නමින් උපත ලැබුවා .ඔහුගේ අම්මා Jacklyn Gise Jorgensen .. තාත්තා Ted Jorgensen .වසරකට සීමා වුණු දෙමව්පියන්ගේ විවාහය දික්කසාදයෙන් කෙලවර වුණා .ටික කාලෙකින් ඔහුගේ අම්මා මයික් බෙසොස් එක්ක විවාහ වුණා . “නුඹට පෙම් කළ පෙම්වතාගෙන් තිලිණ ලද නුඹේ පුතුට මං .. සුළු පියා නොව පියා වෙන්නම් එපා කඳුලැලි ඔය නෙතින් ” කියලා මයික් බෙසොස් , පුංචි ජෙෆ්රිව බලාගත්තා. එතකොට පොඩ්ඩට අවුරුදු හතරයි ,මේ තමන්ගේ ඇත්තම තාත්තා නෙවෙයි කියල ජෙෆ් දැනගන්නේ හදිස්සි වෛද්‍ය වාර්තාවකට පියාගේ සත්‍ය වාර්තා ඉදිරිපත් කරන්න සිදු වූ නිසයි ,එතකොට ජෙෆ් ට අවුරුදු දහයයි . කොල්ල තාම පුංචියි ,

ජෙෆ් අපායේ ඉඳන් දිවිය ලෝකෙට පාර කැපුවා … හෙමින් හෙමින් …
ඔහු නිතරම අලුත් දේවල් හදන්න උත්සාහ කළා . උපකරණ සවි කරලා තියෙන ආකාරයයි , ඒවා වැඩ කරන විදියයි ඔහු හෙව්වේ පිපාසයෙන් වගේ.මේ හින්දම තමන්ගේ වයසේ අනිත් ළමයින්ට වැඩිය ජෙෆ් ඉදිරියෙන් හිටියා.ජෙෆ්ට තිබුණේ FULL HD හීන .ඔහුට ඕන වුනේ දවසක අභ්‍යවකාශ ගවේෂකයෙක් වෙන්න.

ජෙෆ්ගේ ජීවිතේ වුණේ අලුත් දේවල් සෙවීම .දවසක් ඔහු අලුත් එලාම් එකක් හොයාගත්තා .ඒකනම් හරිම කෝලමක් .. ජෙෆ්ගේ කරදරකාර මල්ලිලා ටික ඔහුගේ කාමරේට රිංගන්න හැදුවොත් එළාම් එක බෙරිහන් දෙනවා.

කවුරුත් කැමති වුණේ ඔහු ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ භෞතික විද්යාව හදාරනවට .හැබැයි ඔහු තේරුම් ගත්තා කවුරුත් කැමති දේ කරලා වැඩක් නෑ කියල .ඉතිං ඔහු පරිගණක විද්යාව හා විදුලි ඉංජිනේරු විද්යාවට උපාධිය මාරු කරගත්තා.
දවසක් විශ්ව විද්‍යාලේ කතාවක් පවත්වද්දී ඔහු කිව්වා .. තමන්ගේ “ආච්චි අම්මගේ දුම් බීමේ නරක පුරුද්ද ගැන ඇයට කියල දීල ඔහු ඇයව ඇඩෙව්වා” කියලා .. ඒක අහලා ජෙෆ්ගේ සීයා කිව්වා … ” ජෙෆ් ….ඔයා දවසක තේරුම් ගනී .. දක්ෂ වෙනවට වඩා
කරුණාවන්ත වෙන එක අමාරුයි කියල .. ”

ඔහු රස්සාවෙන් රස්සාවට පැන්නා .ඔහුගේ පළමු රැකියාව විදියට Fitel දුරකථන සමාගමේ ඔහු අවුරුදු දෙකක් ගතකළා . ඊට පස්සේ BANKERS TRUST ආයතනයේ ස්ථිර රස්සාව දමල ගහල D .E SHAW එක්ක වැඩ කළා , ඒක වෝල් ස්ට්රීට් වල තිබුණු ආයෝජන කලමනාකරණ සමාගමක්.
ඔහුත් අපි වගේමයි .විශ්ව විද්‍යාලේ කෙල්ලෙක් එක්ක හාද වුණා .හැබැයි ඔහු 1993 දී ඇයව කසාද බැන්දා .හරියටම අවුරුද්දකට පස්සේ AMAZON.COM පටන් ගන්න දෙන්නත් එක්ක සියැටල් වලට ගියා .
ජීවිතේ සල්ලිම නෙවෙයි . පිරිමි පුත්තු තුන් දෙනෙක් ගෙදර ඉද්දි . චීනෙන් පුංචි දුවෙක්ව හදාගන්න ගත්තා .

ජෙෆ් AMAZON.COM හින්දා ආයෙත් රස්සාව අත හැරියා. ගෙයක් කුලියට අරන් ඒකෙ ගරාජ් එකේ ඉඳලා ඔහුගේ මුල්ම සේවකයා ෂෙල් කපන් එක්ක වැඩ කළා.

ඔහුටත් එක හීනෙන් එළි වුණේ නෑ .. Amazon.com ට ඊට කලින් වෙන වෙන නම් තියල බැලුවා(කැඩ්බ්රා / Relentless.com ).හරි ගියේ නෑ .
පස්සේ ජෙෆ් දකුණු ඇමරිකන් ගඟෙන් අරගත්ත “ඇමසන්ස් ” නම වෙබ් අඩවියට දැම්මා.ඔන්න ඔහුගේ හිතට සාර්ථකත්වයේ ඉව දැනෙන්න ගත්තා. ඒ ලාංඡනයේ A සිට Z දක්වා ඇඳපු ඊතලයෙන් , පාරිභෝගිකයින්ට A සිට Z දක්වා ඕනෑම දෙයක් මිලට ගත හැකි බවට ඔහු ඉඟි කළා

ඔහු කුඩා කණ්ඩායම් ගැන විශ්වාස කළා . ”එක කණ්ඩායමකට large pizza එකක් මදිනම් ඒ කණ්ඩායම ලොකු වැඩියි”.ඔහු එහෙම හිතුවා . යකෙක් නේ ?
ඔබ විශ්වාස කරනවද ? Amazon.com පටන් ගනිද්දී පරණ ගරාජ් එකේ තිබුණු “දොර – මේස” ක්‍රමයේ මේස තමයි ඔහු අදටත් පාවිච්චි කරන්නේ

ඔහුට යමක් ඉදිරිපත් කිරීමට ඔබට POWER POINT PRESENTATION ක්‍රමය අවශ්‍ය නොවේවි.එදා මෙන්ම අදටත් ඔහු වෙත සම්පුර්ණ විස්තරය කොළ හයකින් පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔබට හැකිනම් ජෙෆ් ගේ හිත දිනාගැනීම ඔබට සුළු දෙයක්.
ගෙදර ගරාජ් එකේ පරණ පොත් විකුණමින් පටන් ගත්ත ව්‍යාපාරය ඔහු ටික ටික උස් මහත් කළා.ඔහු මිනිසුන්ට වැඩි වශයෙන් අවශ්‍ය දේවල් විස්සක ලැයිස්තුවක් හදලා බෙදාහරින්නට පටන් ගත්තා .
හීන පස්සේ පන්නන්න පටන් ගත්තා . ටික ටික සාර්ථකත්වය ඔහු කරා හඹා එන විට ඔහු ඊට සූදානම් වුණා .ශක්තිමත් වුණා .තව හොඳින් වැඩ කළා .ඇත්ත වශයෙන්ම ඔහුගේ සිහින වලට මුලූ විශ්වයේම ඉඩ වෙන් කළත් මදි .
ඔහු BLUE ORIGIN නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආරම්භ කළා.ඔහුව ගෝලීය වශයෙන් ප්‍රශංසාවට ලක් වුණා .අවසානයේදී ඔහු මුළු ලෝකයම ජය ගත්තා. නමුත් ………
මේ සියල්ලටම ඔහුට වසර විස්සක් (20) ක් ගත වුණා.

සටහන – ජීනු