දීපිකා පදුකොන්ට ලියපු ලියුම ඉස්කෝලේ අච්චු පොතට ඇවිත්…
769 Views
සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් සම්මාන උළෙලකදී විශේෂ කතාවක් කළා. ඇය කිවුවේ ඇගේ තාත්තා ගැන. අන්තිමේදී දීපිකා, තාත්තා ඇයටයි ඇගේ සහෝදරියටයි එවපු ලියුමක් සම්මාන උළෙලට ඇවිත් හිටපු හැමෝටම ඇහෙන්න කියෙවුවා. ඒක අහපු හැමෝගෙම ඇස් වලට කඳුළු ආවා. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි.
පහුගිය දවසක දීපිකාව Tag කරලා එයාගේ Fan කෙනෙක් Photos වගයක් දාල තිබුනා. ඒ Photos වල තිබුනේ ඉස්කෝලේ අච්චු පොතක පිටු. “දීපිකා, ඔයාගේ තාත්තා ඔයාට ලියපු ලියුම මගේ මල්ලිගේ ඉස්කෝලේ අච්චු පොතේ තියෙනවා!!” එහෙමත් ලියලා තිබුනා.
අවුරුද්දකට කලින් සම්මාන උළෙලේදී දීපිකා තාත්තා එවපු ලියුම කියවද්දී ඉන්දියාවේ අධ්‍යාපන බලධාරියෙක් ඒක අහගෙන ඉඳලා තියෙනවා. කතාව අහලා ගොඩක් සංවේදී වෙලා ඔහු ඒ ලියුම ඉන්දියාවේ පාසල් පෙළ පොතකට ඇතුලත් කරලා.
පාසල් පෙළ පොතකට ඇතුලත් කරන්න තරම් ඒ ලියුමේ තිබුන විශේෂත්වය මොකක්ද කියල ඔබ කල්පනා කරන්න ඇති. කල්පනා කළා ඇති. මෙන්න ඒ ලියුම. කියවලා බලලා ආයෙත් කල්පනා කරන්න.
දීපිකා සහ අනීශා,
තාමත් ඔය දෙන්න ඉන්නේ ජීවිතේ දොරකඩ ළඟ. ඒ නිසා, ජීවිතේ මට ඉගැන්නුව සමහර දේවල් ඔය දෙන්නට කියන්න මට හිතුනා. මට තිබුන දේවල් ගැන පැමිණිලි නොකර ගත කරපු පුංචි කාලේ තමයි මගේ ජීවිතේ වැදගත්ම කාලේ. මොකද ඒ කාලේ තමයි මට කියලා දුන්නේ මහන්සිවෙලා වැඩ කරන්න. තියෙන දේ ගැන සතුටු වෙලා උත්සාහයෙන් උනන්දුවෙන් ආසාවෙන් කරන වැඩේ හරියට කරන්න මම ඉගෙන ගත්තේ මගේ පොඩි කාලෙදිමයි. කරන දේට ආදරෙයි නම් වෙන කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි. සම්මාන ලැබුනේ නැතත්, පත්තරේ මුල් පිටුවේ නොහිටියත් සතුටින් ඉන්න එතකොට පුළුවන්.
“දීපිකා,
අපි දන්නවා ඔයා Bollywood වල ඉන්නේ ඔයා ඔයාගේ වෘත්තියට ආදරේ නිසා. ඔයාට වයස අවුරුදු 8ක් 9ක් වෙද්දීම අපි දැනගත්තා ඔයා ම Modeling වලට දක්ෂයි කියලා. ඔයා හරිම සාමාන්‍ය ළමයෙක්. ඔයා අවුරුදු 18 වෙද්දී අපිට කිවුවා මුම්බායි වලට යන්න ඕනේ කියලා, ඔයාගේ Modeling වල ඉදිරි ගමන වෙනුවෙන්. අපිට සැහෙන්න අමාරු උනා ඒ තීරණේ අරගන්න. එත් මම ඔයාට ඉඩ දුන්න ඔයාගේ හිත කියන දේ කරන්න. මොකද මගේ තාත්තා මට ඉගැනුවෙත් හිත කියන දේ කරන්න කියලා.
මගේ හිත කැමතිම දේ කරන්න මගේ තාත්තා මට ඉඩ දුන්නේ නැත්තන්, අද මමත් ජීවිතේ අමාරුවෙන් ගෙවන සාමාන්‍ය ඉංජිනේරුවෙක් වෙලා ඉඳියි. අනාගතේ ගැන තීරණ ගන්න කාලයක් ඔයාලාගේ ජීවිත වලට ආපු වෙලාවේ ඒ අයිතිය ඔයාලගෙන් උදුරගන්න තරම් නපුරු වෙන්න අපිට ඕන වුනේ නෑ.
ඔයාල ජීවත් වුනේ ඒ සිහිනය වෙනුවෙන්, හුස්ම ගත්තේ ඒ සිහිනය සැබෑ කරගන්න අධිෂ්ඨානයෙන් කියලා අපි දැනගෙන හිටියා. ඉතින් ඒ තීරණය අරන් ඔයාල සාර්ථක උනොත් අපි ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේමයි අසාර්ථක වුනොත් කිසි දුකකුත් නෑ. ඔයාල පසුතවිලා දුක් වෙන්නත් එපා. මොකද ඔයාලා උත්සාහ කළා. එක මම දන්නවා.
අද ඔයාල ඉන්න තැන ගැන මට සතුටුයි. ඔයාල තනියම ඔයාල ගැන බලාගන්නවා. මේ ගෙවුණු අවුරුදු කීපයේ ඔලුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් ගැහැණු ළමයි දෙන්නෙක් විදිහට ඔයාලා දෙන්නා වැඩ කරලා තියෙනවා. ඒ ආත්මශක්තිය ඔයාලට තියෙනවා කියල මම විශ්වාස කරනවා.
කරන දෙයට කැමතිවෙලා විතරක් දක්ෂයෙක් වෙන්න බෑ. කරන දෙයට ආදරය කරන්න ඕනේ. එකයි සාර්ථකත්වය කියන්නේ. කිසිම පරිත්‍යාගයක් අරමුණට වඩා විශාල නැහැ. ඒ වගේම කිසිම පරිත්‍යාගයක් අරමුණට ලගාවෙන්න බාධාවක් වෙන්නෙත් නෑ. ඒක අමතක කරන්නෙපා.
ජීවිතේ හැමදේම අපිට ඕන විදිහට වෙන්නේ නෑ. හොඳ නරක දෙකම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. හැබැයි නැති දේ ගැන හිතන්නෙපා. තියෙන දෙයින් සතුටු වෙන්න. තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්න.
ළමයෙක්ට හැමදේම බන්දේසියක තියලා පිළිගන්වන්න ඕන නැහැ. තමන්ට ඕන දේ හොයාගෙන යන්නයි පුරුදු කරන්න ඕන. අපි ඔයාලා දෙන්නට එහෙම කරන්න ඉඩ දුන්නා. අපේ උපදෙස් අවවාද ඔයාල ඇහුවා. ඒ නිසා ඔයාල දැන් ඉන්න තැනට ඇවිත් තියෙනවා. ආඩම්බරයි මගේ දූලා දෙන්න ගැන.
හැබැයි, මොන දේ වුනත් ඕන වෙලාවක අපි ඔයාල දෙන්න වෙනුවෙන් ඉන්නවා.
ආදරණීය තාත්තා.”