ඔස්ට්‍රේලියාව තමන්ගේ මව් රටේදීම White Wash කරපු ලංකාව අද අපේ රටේදීම White Wash වුණා. ඒ ඉන්දියාව අතින්. තුන්වන ටෙස්ට් තරගයෙනුත් ඉනිමකින් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ලබන්න ලංකාවට සිදු වුණා.
ඉන්දියාව පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලකුණු 487 ක් ලබා ගත්තා. එහිදී ඉන්දියානු ඉනිම ශතක 2 කින් ශක්තිමත් කරන්න ධවාන් සහ පාන්ඩයා සමත් වුණා. ධවාන් ලකුණු 119 යි. පාන්ඩයා ලකුණු 108 යි. රාහුල් ලකුණු 85 ක් ලබා ගත්තා. රංගන හේරත්ලංගේ තැන ගත්තු ලක්ෂාන් සදකැන් කඩුලු 5 ක් දවා
ගත්තා. මලින්ද කඩුලු 3 ක් සහ විශ්ව කඩුලු 2 බැගින් දවා ගන්න සමත් වුණා.
ලකුණු 487 ක ඉලක්කයක් හඹා ගිය ලංකාවට වැඩි වෙලා පිටියේ සැරිසරන්න ඉන්දියාවෙන් අවසර ලැබුනේ නැහැ. නායක චන්දිමාල් ලකුණු 48ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 29ක් රැස් කරගත්තා. අනිත් කිසිදු පිතිකරුවෙක් ලකුණු 20 පහු කරන්න සමත් වුණේ නැහැ.
ලංකාවේ පිතිකරුවන් 3 දෙනෙක්ම ලකුණු ලබාගන්නත් කලින් ආයිත් ක්‍රීඩාගාරයට හරවා යවන්න ඉන්දියාවට පුළුවන් වුණා. ලංකාවේ ඉනිම සුනු විසුනු කරපු යාදව් කදුළු 4 යි.
පළමු ඉනිමේදී 135කට සියල්ල දැවුණු නිසා ඉනිමක පරාජයේ අවමානයෙන් ගැලවෙන්න දෙවෙනි ඉනිමත් පටන් ගන්න ලංකාවට සිද්ධ වුණා. ඒ ඉන්දියාවට වඩා ලකුණු 352ක් පිටුපසින් ඉදලා. ඒත් පළමු ඉනිමට වඩා දෙයක් කරගන්න දෙවෙනි ඉනිමේත් ලංකාවට බැරි වුණා.ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ඇඹරුණු ලංකා පිතිකරුවන් එකා පිටුපස එකා ගිහින් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තා. දෙවෙනි ඉනිම සිමාවුනේ ලකුණු 181 කටයි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුනු දික්වැල්ල 41යි. දිනේෂ් චන්දිමාල් 36ක් සහ මැතිව්ස් 35ක් රැස් කරගත්තා.
මෙවරත් අනිත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කරන්න අශ්වින්ලා ඉඩ තිබ්බේ නැහැ. අශ්වින් කඩුලු 4ක් දවා ගත්තේ ලංකාවට ඉනිමකින් සහා ලකුණු 171 ජයක් ඉන්දියාවට ලියා දෙමින්. පාන්ඩයා තරගයේ වීරයා වෙද්දී තරගාවලියේ වීරයා ශිකර් ධවාන්. මව් රටෙන් පිටදී තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක පුර්ණ ජයක් ඉන්දියාව ලබාගත්ත පළමු අවස්ථාව මෙයයි. කොහොම වුණත් ලංකා ඉතිහාසයට පරාජයේ කළු පැල්ලමක් වදිනකොට ඉන්දියාවට වයිට් වොෂ් ජයක් හිමිවුණා.