ශ්‍රි ලංකාව කියන්නෙ මුහුදෙන් වට වෙලා තියෙන එක රටක් වුනාට ලොකේ තියෙන ගොඩාක් රටවල් තමන්ගේ රට වෙන් කරගන්නෙ දේශ සීමා වලින්. ඒ ඔවුන්ගේ රටවල් පිහිටලා තියෙන්නෙ එකම භූමියක වීම නිසා. මේ විදිහට භූමියෙන් වෙන් කරලා තියෙන රටවල් දෙකක් තමයි උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නෙ. එතකොට මේ දේශ සීමාව තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් යොදවලා තියෙන දේශ සීමාව.
මේ රටවල් දෙක අතර තියෙන විරසකය අද ඊයේ පටන්ගත්ත එකක් නෙමෙයි. මේ නිසා පහුගිය දවසකත් කටිනුත් යුද්ධ කරා. ඒ නිසාම තවත් යුද්ධයක පෙර නිමිති මේ රටවල් දෙක අතර ඇති වෙලා තියෙනවා.
කොහොම වුනත් හැම අවුරුද්දකම කොරියානු භුමිය උතුරු – දකුණු ලෙස බෙදා වෙන්කර දැක්වෙන යුධ මුක්ත කලාපයේ මායිමට යාබදව වේදිකාවක් ඉදිවෙනවා. ඒ බල ඇණි සීරුවෙන් තබා ඇති දේශ සීමාවට සංගීතයේ සිසිල ලබා දෙන්න. දකුණු කොරියානු ගායක ගායිකාවෝ මේ වේදිකාවට ගොඩවන්නේ උතුරු කොරියාවට සාමයේ දෑත් දිගු කරන්න. මේ අවුරුද්දෙ ‘සාමයේ ප්‍රසංගය’ වෙනුවෙන් වැඩ පටන්ගත්තෙ එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව තර්ජනය කරන සහ ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාවට “විනාශකාරී Twitter ප්‍රහාරයක්” එල්ල කළ මොහොතක.
අවුරුද්දකට සැරයක් පැවැත්වෙන මෙම ප්‍රසංගය හැඳින්වෙන්නේ DMZ (Demilitarised Zone ) ප්‍රසංගය නමිනි. ‘යළිත් සාමය!’ (Again, Peace!) මෙවර DMZ ප්‍රසංගයේ තේමාව.
කොහොම වුනත් ඊයේ සහ පෙරේදා (13 / 14 ) දින දෙක තුල මේ සාමයේ ප්‍රසංගය සාර්ථක විදිහට ඔවුන් පවත්වලා තියෙනවා. දකුණු කොරියාවේ MBC ගුවන් විදුලි සේවය සහ ඒකාබද්ධතා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මේ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ආයතනවල අතහිත ද ලැබිලා තිබෙනවා. දකුණු කොරියාවේ ඒකාබද්ධතා අමාත්‍යංශය පිහිටවලා තියෙන්නෙ, උතුරු දකුණු ලෙස බෙදී වෙන්වී සිටින කොරියානුවන් කවදා හෝ එකම ජාතියක් බවට පත්වන සිහිනය ඇත්තක් කර ගැනීම සඳහා කියල තමයි එරට ආරංචි මාර්ග වලින් කියවෙන්නෙ.