අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ප‍්‍රතිපාදන නොමැති බව, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ රහස් ඡන්දක් පැවැත්වීම සඳහා ප‍්‍රතිපාදන ඇත්තේ අවස්ථා 02 කට පමණක් බවයි ඔහු සදහන් කර සිටියේ. එක් අවස්ථාවක් වන්නේ, පාර්ලිමේන්තුවේ කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරාපත්කර ගැනීමේ අවස්ථාවයි. ඊට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් ප‍්‍රතිපාදන හිමිව තිබෙනවා.
අනෙක් අවස්ථාව වන්නේ පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ අවස්ථාවයි. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ප‍්‍රතිපාදන වෙන්ව ඇති බවයි, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා සදහන් කළේ.
අනෙක් සෑම ඡන්ද විමසීමක්ම විවෘත ඡන්ද ලෙස මන්තී‍්‍රවරුන්ගේ නමින් විමසිය යුතු බව ඔහු සදහන් කළා. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අග‍්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව ගෙන එන ලද 03 වන විශ්වාසභංග යෝජනාව මෙයයි.
මීට පෙර 1957 වසරේදී එවකට අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සහ 1975 වසරේදී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වුණා. එම අවස්ථා දෙකෙහිම අදාළ යෝජනා පරාජයට පත් වුණා.