බදු කියන්නේ ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය. රජ කාලයේ ඉදන්ම මිනිස්සුන්ගෙන් බදු අය කරා. බුදු දහමේ සඳහන් වෙන්නේ බඹරෙක් මල නොතලා මලෙන් රොන් ගන්නවා වගේ රජයක් මිනිස්සුන්ගෙන් බදු අය කරන්න ඕන කියලා. හැබැයි දැන් ලෝකයේ තියෙන ආණ්ඩු එහෙම කරනවද කියන එක නම් ප්‍රශ්නයක්.
කොහොම වුනත් නව දේශීය ආදායම් බදු පනත අද ඉදන් ක්‍රියාත්මක වෙනවා. අලුත් බදු ක්‍රමයට අනුව මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් හෝ ඊට අඩුනම් ඔහුගෙන් බදු අය කරන්නේ නෑ. හැබැයි රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ 50,000 දක්වා මාසෙකට උපයන අයට 4% ක බදු මුදලක් අය කරනවා. රුපියල් 150,000 සිට රුපියල් ලක්ෂ දෙක දක්වා 8% ක් ද , රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් 250,000 දක්වා 12% ක් බදු මුදලක් අය කරනවා.
ඒ වගේම මාසෙකට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ තුන දක්වා උපයන අයට 16% ක බදු මුදලක් ගෙවන්න වෙනවා. රුපියල් ලක්ෂ තුනේ සිට රුපියල් 350,000 දක්වා 20% ක් ද බදු ලෙස අය කරනු ලබනවා. රුපියල් 350,000ට වැඩි මාසික වැටුප් ලාභීන් සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය 24% ක්.
මීට අමතරව විදෙස් ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේශනය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකු ගත මුදල් වලට ලැබෙන පොලිය මත ද සියයට 5ක නව බද්දක් අලුත් බදු ක්‍රමයෙන් අය කරනවා. නිවාස, ඉඩම්, හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද නව බද්දක් හදුන්වා දීලා තියෙනවා. ප්‍රග්ධන ලාභ මත බද්ද ලෙස මෙය හදුන්වනු ලබන අතර එමගින් ලාභයෙන් සියයට 10ක් බදු ලෙස ගෙවිය යුතුයි. හැබැයි බදු ගණනය කරන්නේ එම දේපල පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වන දිනට පැවති වෙළෙදපල වටිනාකම අදාළ කරගෙන.