කමල් අද්දරආරච්චි කියන්නේ කාලයක් රිදී තිරයේ හිටිය ජනප්‍රියම පෙම්වතෙක්. කඩවසම් රූපය නිසාම තාමත් කමල්ට ලොකු ජනතා ආකර්ෂණයක් තියෙනවා. කමල්ගේ පාසල් කාලය ගැන වගේම තරුණ කාලයේ කරපු දඟ වැඩ ගැන ඔහු කියපු කතාව තමයි මේ.
* ඉලන්දාරි කාලෙ
ඇත්තටම කියනවා නම් මගේ ඉලන්දාරි කාලෙ බොහොම සුන්දර එකක්. අද ඉන්න ඉලන්දාරි වගේ නාහෙට අහන්නෙ නැති වැඩ කළේ නෑ. දඟ වැඩක් කරානම්, ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූවා නම් ඒ බොහොම සුන්දර විදියට. කලාවට තිබුණ ආදරය නිසා ඒ පස්‌සෙම ගියා මිසක් වෙන දේවල්වලට වැඩි ඉඩක් දුන්නෙ නෑ. ඒත් තරුණයො එකතු වුණාම කරන හැම දෙයක්‌ම මමත් කළා.
* පාසල
වෙස්‌ලි විද්‍යාලයෙන් තමයි මම පළමු වසරෙ සිට උසස් පෙළ දක්‌වාම ඉගෙන ගත්තෙ. මගේ රංගන ජීවිතේට පසුබිම වුණෙත් වෙස්‌ලි විද්‍යාලයම තමයි. එහි ආචාර්යවරයෙක් වූ ගාමිණී සමරකෝන් මහතා දක්‌ෂ වේදිකා නළුවෙක්. ඔහු අපිටත් අපි ඔහුටත් තිබුණෙ පුදුම ආදරයක් සහ කැමැත්තක්. ඒ එක්‌කම ඔහු අපිව රංගනයට යොමුවෙන ආකාරයට කටයුතු කළා. ඒ විදියට ගුරුවරුත් එක්‌ක බොහොම සමීපව වැඩ කරන්න හැකියාව තිබුණ නිසා පාසල මට ඉතා ජනප්‍රිය ස්‌ථානයක් වෙලා තිබුණ.
* කරපු දඟ වැඩ
දඟ වැඩ කියල නරක දෙයක් කරා කියල මම හිතන්නෙ නැ. ෆිල්ම් බලන්න, සංගීත සංදර්ශන බලන්න වගේ ගෙවල්වලින් වැඩි ඉඩක් නොදෙන දේවල් තමයි කරන්න උනන්දු වුණේ. ගෙවල්වලට එක තැනක් කියල අපි එකතුවෙලා යන්නෙ වෙනත් තැනක. කාටවත් කරදයක් වෙන විදියට හැසිරුණේ නැහැ. ඉඳහිට සිගරැට් එකක් බීල පේරකොළ කාල ගෙදර ආවා.
* ඇසුරු කරපු යාළුවෝ
යාළුවෝ නම් මට වැහි වැහැල. අද කෙනෙක් අඳුර ගත්තොත් හෙට එයා මගේ යාළුවෙක්. මම කොහොමත් මිත්‍ර සමාගම්වලට ප්‍රිය කරන චරිතයක්. පාසලේ හිටපු හොඳම යාළුවා විජිත. දැනට ඔහු ඉන්නෙ ස්‌විඩන්වල. පාසලෙන් පිට මට හිටපු හොඳම යාළුව ඩන්කන්. ඔහු ගිටාරය, බටනලාව වාදනයට හරිම දක්‍ෂයි. මම සිංදු කියනවා. අපි අතරෙ බොහොම සුහද මිත්‍රත්වයක් ගොඩනැඟිල තිබුණා.
* කල්ලි ගැහුණ තැන්
බම්බලපිටියෙ ජීවත් වෙනකොට යූත් සෙන්ටර් කියල තැනක් තිබුණ. එතැනට ගිහින් අපි එකතුවෙලා කතාබහ කරනව. ඊට අමතරව අපි නාලන්දෙ ග්‍රවුන්ඩ් එකේ කල්ලි ගැහෙනව. එහෙම නැත්නම් කැම්බල් පාර්ක් එකේදි අපි හැමෝම හමුවෙනව.
* ගැහැනු ළමයි
ගෑනු ළමයි නම් ගොඩක් ආශ්‍රය කළා මිතුරියන් හැටියට. මම පාසලේ විවාද කණ්‌ඩායමේ ජනප්‍රිය සාමාජිකයෙක්. ඒක නිසා අපි වෙනත් පාසල්වලට ගිහින් විවාද තරගවලට සහභාගි වෙනව. ඉතින් යන යන පාසල්වල මිතුරන්ට වඩා මිතුරියො හිටිය. බොහොම සුහදව ඒ හැම කෙනෙක්‌ම ආශ්‍රය කළා. ඔය අතරෙ කාලෙන් කාලෙට පෙම්වතියො කිහිප දෙනෙකුත් මට නොහිටියම නෙවෙයි.
* පටබැඳි නම්
මම තමයි ගොඩක් වෙලාවට අනිත් අයට නම් පටබැන්දෙ. ඒ ඉතින් විනෝදෙට අද කියන නම හෙට අපිට මතක නෑ. මට විශේෂ විකට නමක් පටබැඳිල තිබුණෙ නෑ. හැමෝම වගේ අද්දරේ කියල කතා කළා.
* දෙමව්පියො
දෙමව්පියෝ මතක් කරද්දී… ඒ කාලෙ ඉඳල මගේ අම්ම බොහොම කැමතියි මම කලාවෙ නියෑලෙනවාට. වෙන අම්මල වගේ ඒව වළක්‌වල ඉගෙනීමටම යොමු කරන්න උත්සාහ කළේ නෑ. ඒත් තාත්තා ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් විදියට කටයුතු කළේ. ඔහු කලාව පැත්තට මම යොමු වෙනවට තදින් විරුද්ධ වුණා. ඔහුට උවමනාව තිබුණෙ අධ්‍යාපනය පැත්තෙන් මම ඉහළට එනව දකින්න. කෙහොම වුණත් මගේ හිත තිබුණෙ කලාවට. අන්තිමේ දෛවය මාව කලාකාරයෙක් කළා.
* ගුරුවරු
ගුරුවරු ගොඩක් හිටිය. ඒ හැම ගුරුවරයකුගෙම හිත දිනාගෙන වැඩ කරපු කෙනෙක් තමයි මම. මට තාම හොඳින් මතකයි නිමල් කියල සර් කෙනෙක් හිටියා. ඔහු තමයි මුලින්ම මාව දෙබස් කියන නාට්‍යයකට සම්බන්ධ කර ගත්තෙ. ඒකෙන් මම පුදුම රසයක් වින්දා තව හිටිය බැසිල් මිහිරිපැන්න කියල සර් කෙනෙක්. ඔහුත් දක්‌ෂ කලා ආචාර්ය වරයෙක්. ඔවුන් සමඟ සමීප සබඳකම් තිබුණා. ඒ වගේම මගේ පාසලේ විදුහල්පති තුමා ෂෙල්ටන් වීරසිංහ මහතා ඔහු මගේ රංගන දිවියට ලොකු ආශිර්වාදයක් වුණා.
* විනෝදාංශ
විනෝදාංශයක් හැටියට සංගීතය තමයි කළේ. විවේකයක් ලැබුණම යාළුවො එක්‌ක එකතුවෙලා ගායනය, වාදනය කරන්න තමයි මගේ වැඩි කැමැත්තක් තිබුණෙ. ඒ කාලෙ මම පාසලේ මිතුරන් එකතු කරගෙන සංගීත කණ්‌ඩායමකුත් ගොඩනඟා ගෙන තිබුණා “කැට්‌ස් අයි” කියල.
* අහල පහල අය
ඒ කාලෙ අපි ප්‍රදේශ කිහිපයක ජීවත් වුණා. ඒ හැම අසල්වැසියෙක් එක්‌කම මම සුහදව හිටියා. ඒ අයගෙන් මට කවදාවත් නරකක් නපුරක් වෙලත් නෑ. දැන් වගේ තාප්පවලට කොටුවෙලා හිටියෙ නෑ. හැම ගෙදරකටම යනව. ඒ යන හැම ගෙදරකින්ම කනව බොනව. ඔය විදියට මම අහළ පහළ අයගෙ හිත දිනාගෙන සහයෝගයෙන් හිටිය.
* බලාපොරොත්තු
පුංචි කාලෙ නම් මා තුළ තිබුණ එකම සහ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන එක. රංගනයට යොමුවීම තුළ ඒක මගෙන් මඟහැරුණා. තාත්ත රංගනයට මම යොමු වෙනවට දක්‌වපු විරෝධය එක්‌ක මට ඒ දේ හරියට සම්බන්ධීකරණය කරගන්න බැරුව ගියා. ඔය අතරෙ නීතිඥයෙක් වෙන්න පුංචි ආසාවකුත් හිතේ තිබුණා. මොන දේ බලාපොරාත්තු වුණත් අපට හිමි දේ තමයි අන්තිමට ලැබෙන්නෙ…
ධම්මික හේවාවසම්