ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූනා. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි.
මෙවැනි දුෂණ චෝදනාවක් පිළිබඳව නඩු පැවරීමේ දී එම නඩුව පැවරීමට අදාලව අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට නඩු පැවරීමේදී අල්ලස් කොමිසම එම ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු කර නොමැති බවයි නීතිඥවරයා පෙන්වා දුන්නේ.
අල්ලස් පනත යටතේ එම ලිඛිත අනුමැතිය නොමැතිව නඩු පැවරීම නිත්‍යානුකූල නොවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියා.
පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 04 වනදාට කල් තැබුනා.
මේ අතර කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීම සම්භන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගය ලබන 11 වනදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කලා.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින්.
අදාළ බලාගාරයේ ඉදි කිරීමේ කටයුතු කටයුතු ”ලක්ජනනී ” නැමැති ලාංකික සමාගමක් වෙත පැවරීමට ඒ පිළිබඳව අධ්‍යයනය කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීන්දු කර තිබූ බව පෙත්සමේ දැක්වෙනවා.
එහෙත් තාක්ෂණ කමිටුවේ නිර්දේශ උල්ලංඝනය කරමින් අදාළ කටයුතු චීන සමාගමක් වෙත පැවරීමට රජය ක‍්‍රියා කරමින් සිටින බව සඳහන් කරන පෙත්සම්කරු ඒ හරහා ශ‍්‍රී ලංකා රජයට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ට ද විශාල අගතියක් සිදුවන බවයි පෙන්වා දී ඇත්තේ.
පෙත්සම සලකා බැලීම ලබන 11 වන දා දක්වා කල් තැබීමට ශේෂ්ඨාධිකරණය නියම කලා.
SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe