සංගීත ලෝකයේ අමතක නොවන කට හඬ හිමි රූකාන්ත ගුණතිලකයන් මේ වනකොටත් කාගේත් ආදරයට පාත්‍ර වන චරිතයක්. කලකට පෙර ඔහු සංගීත ක්ෂේත්‍රයට දායාද කළ සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරම්පරාව අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබෙනවා. චතුර ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලකයන් සිය ජීවන තොරතුරු ගැන කතා කළේ මෙහෙමයි.
රූකාන්ත කවදාද ලංකාවට ආවේ?
ලංකාවට ආවේ අගෝස්තු හත්වැනිදා.
හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ඇයි?
හදිසියක් නැහැ. අපේ දිගුකාලීන සැලසුමේ මේ අදහස තිබුණා. නමුත් අපි දෙසැම්බර් මාසයේ තමයි එන්න හිතාගෙන හිටියේ. ඒක ඉක්මන් වුණා චන්ද්‍රලේඛාගේ අම්මා අසනීප වුණ හින්දා. ඇයව අපි හිතපු නැති විදියට රෝගාතුර වෙන්න පටන්ගත්තා. ඉතිං අපි හිතුවා ඇයට කරදරයක් වුණොත් ඊට පස්සේ ඇවිත් වැඩක් නෑ. මොකද ඇය තමයි අපේ දරුවෝ දෙන්නම අපි නැති වෙලාවට බලාගත්තේ. අනික වින්ඩිගේ ග්‍රැජුවේෂන් අවසන් වුණා. වින්ඩිත් කරදර කරනවා අපි ඉක්මනට ලංකාවට යමු කියලා. ඒ අනුව අපි ගමන ඉක්මන් කළා.
මේ පාර ලංකාවට ආවේ නවතින්නම බලාගෙන කියලයි ආරංචිය?
ඔව්. අපි අවුරුදු දහතුනක් ස්ථිරව ලංකාවේ හිටියේ නෑ. කිහිප වරක් ඇවිත් ගියා. ඉතිං අපිට හිතුනා මොනවා හරි වැඩ ටිකක් කරන්න ඕනෑ කියලා. ඒක හින්දා අපි ඉක්මනට ආවා. දැන් අපි වැඩ පටන් අරගෙන තියෙන්නේ.
මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ගොඩක් ප්‍රතිචාර ලැබුණා. හොඳයි නරකයි දෙකම මට හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට ලැබුණේ ගොඩක් හොඳ ප්‍රතිචාර.
‘රූ සඳ ?. ප්‍රසංගය ආපහු රට වටා ගෙනියන්න අදහසක් තියෙනවාද?
අනිවාර්යයෙන්ම. ‘රූ සඳ ?. අපි 1993 අවුරුද්දේ ඉඳන් ප්‍රසංග දෙසීයකට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ අවුරුද්දේම පටන්ගන්න කියලා අපිට ඉල්ලූමක් ආවා. අපි ඒකට කැමති වුණේ නෑ. මක්නිසාද ඒකට ගීතවල සූදානම මදි. ඇත්තටම ගීත ගොඩක් තියෙනවා ගායනා කරන්න පුළුවන්. නමුත් අපට අලූත් දෙයක් කිරීම සඳහා කාලය මදි කියලා හිතුනා.
රූකාන්ත අලූත් දෙයක් සෑහෙන කාලෙකින් කළේ නෑ නේද?
සෑහෙන කාලයකින් අලූත් දෙයක් කළේ නැහැ. අලූත් දෙයක් කියන්නේ මෙහෙමයි. සිංදුවක් දාන එකම නෙමෙයි අලූත් දෙයක් කියන්නේ ඊයේ පෙරේදාත් මම සිංදුවක් රිලීස් කළා. ඒකේ නම ‘විල්තෙරේ. කියලා. මම හිතන්නේ තවම ගුවන්විදුලියේ වාදනය වෙන්නේ නෑ. නමුත් සිංදුවක් දැමීම පමණක් නෙවෙයි අලූත් දෙයක් කියන්නේ. අලූත් දෙයක් කියන්නේ අලූත් දෙයකට. ලංකාව වගේ තැනක අලූත් වෙන්න හරිම අමාරුයි.
මෙහෙමයි” බඹර පහස සින්දු සෙට් එක ආපු වෙලාවේ ඔක්කොමලා ඒක හරි කිව්වේ නැහැ. අනික අපි කොහොමත් වැරැද්ද භාරගන්න එපායැ.
හැබැයි රූකාන්ත ලංකාව ඇතුළේ අලූත් දෙයක් කළා කියලයි මිනිස්සු කියන්නේ?
ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඒක මගේ ඇඟ ඇතුළේ පුංචි කාලේ ඉඳන් තියෙන දෙයක්. මම ඒක මගේ දක්‍ෂතාවක් කියලා හිතන්නේ නෑ. අනෙක් අයට ඒක එහෙම පේනවා වෙන්න පුළුවන්. නමුත් ඒ මගේ හැටි. මට හැම වෙලාවෙම අලූත් දෙයක් ඕනෑ. අලූත් කියන්නේ ඒක ඇතුළේ මොකක් හරි අමුත්තක් තියෙන්න ඕන. එහෙම නැති නම් ඒක හරියන්නේ නෑ.
දශකවල සංගීතයේ හැරවුම් ලක්‍ෂ්‍යය රූකාන්ත ගුණතිලක කියලත් කියනවා. මොකද ඒ ගැන කියන්නේ?
ඔව් ඉතිං එහෙම කියනවා. අද වෙනකොට ඒ කතාව යම්කිසි ප්‍රමාණයකට වෙනස්වෙලා තියෙනවා. එතැනින් එහාට ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඉස්සරහට මොනවාද කරන්න පුළුවන් කියලා බලමු.
රූකාන්ත දැන් දිගටම ලංකාවේ වැඩද?
ආයෙත් දිගටම වැඩ” දැන් ඉතිං ලෝකය පුංචියිනේ මොකක් හරි අවශ්‍යතාවක් වුණොත් යන්න පුළුවන්” එන්න පුළුවන්.
පසුගිය කාලේ ඔබ දිගටම ලංකාවේ නැති එක අපරාධයක් කියලා හිතුනේ නැද්ද?
ප්‍රසංගයකට මාව සම්බන්ධ කරගන්න කතා කරන්න පුළුවන්කමක් නැහැනේ. ඒක හින්දා ඒ අඩුව දැනෙන්න ඇති ඒකට කරන්න දෙයක් නෑ. මගේ පවුල වෙනුවෙන් මම ඒ තීරණය ගත්තේ. මම මෙහේ හිටියා නම් මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරිවෙන කාරණා ගොඩක් තිබුණා. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙන අවස්ථා ගොඩක් තිබුණා. ඒක හින්දා තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ. ඒකට මම විතරක් නෙමෙයි චන්ද්‍රලේඛාත් ඇගේ වැඩකටයුතු කැප කළා.
දැන් වින්ඩිගේ අධ්‍යාපන කටයුතු අවසන්?
ඔව්. දැන් වින්ඩිගේ අධ්‍යාපන කටයුතු අවසන්. එයාට ඕන නම් එතැනින් එහාට ඉගෙනගන්න. පුළුවන් එයා තීරණයක් ගත්තා එතැනින් එහාට ඉගෙනගන්නේ නෑ කියලා. එයාගේ කොලේජ් එකේ ඇසෝසියේට් උපාධිය ගත්තා. එයාම තීරණය කළා ඉක්මනට ලංකාවට යමු කියලා. අපිව ලංකාවට ඇදගෙන එන්න මූලික වුණේ වින්ඩි.
වින්ඩි ලංකාවට එන්න විශේෂ හේතුවක් තියෙනවා නේද?
ඔව්. ඉතිං ඒ ගොල්ලන්ගේ සම්බන්ධතා අනුව ඒ ගොල්ලන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා හැබැයි මෙහෙම එකක් තියනවා රයිනි” වින්ඩි කොහොමටත් ලංකාවට ආදරෙයි අපි වගේම. වින්ඩි ඉපදුනෙත් ඇමෙරිකාවේ. වින්ඩි ඇමෙරිකාවේ පුරවැසියෙක්.
රටම කතාවෙන තරුණයෙක් ළඟ වින්ඩිගේ හිත නතර වෙලා කියලත් හැමෝම කියනවා?
මම ආදරයට අකුල් හෙළන චරිතයක් නෙවෙයි. පුද්ගලයා අනුව ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
ඇගේ වර්තමාන සම්බන්ධය ගැන මම දන්නවා. ඒකට මගේ කිසිම අකමැත්තක් නෑ.
සනුක කියන්නෙත් තරුණ්‍යයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. රූකාන්තත් ඒ වගේ චරිතයක්. දෙන්න එකතු වෙලා ලොකු වැඩක් කරන්න අදහසක් නැතිද?
මටයි සනුකටයි ලොකු වැඩක් කරන්න පුළුවන්. සනුක ඉතාමත් දක්‍ෂයි. මුල් යුගයේ ඉඳන් සනුකගේ පියා මට ගොඩක් ආදරෙයි. මට විරුද්ධව ගුවන්විදුලියේ කතා කළොත් ආපහු ගුවන්විදුලියට කතා කරලා ඒ කෙනත් එක්ක ඔහු විවාද කරනවා. සනුකගේ තාත්තත් ඉතාම දක්‍ෂ සංගීතඥයෙක්. සනුකත් ඒ වගේ. ඒ කාලේ සී. ඞී. තිබුණේ නෑ. මගේ බඹර පහස කැසට් එකේ සින්දු තුනකට බේස් ගිටාර් ගැහැව්වේ සංගීත් මල්ලි.
සින්දු තුන මතකද?
ඔව්. රේණු රේණු මල් මිටේ රේණු” සඳේ ඔබ” ළඳේ මුලා වී ගීත තුනයි.
ඒ කියන්නේ සනුකගේ තාත්තත් හොඳ මිත්‍රයෙක්?
නිතර හම්බ නොවුණත් ආශ්‍රය නොකළත් අපි අතරේ ලොකු බැඳීමක් තිබුණා. පසුව වින්ඩිගෙයි සනුකගෙයි සම්බන්ධතාවට මගේ ආශිර්වාදය ලබාදුන්නා. සනුක කියන්නේ විනයගරුක දරුවෙක්.
රූකාන්ත ගැන කතා කරනකොට බඹර පහස ගැන කතා නොකරම බැහැ. අපි ඒ අතීතයට යමු නේද?
අතීතය හරිම සුන්දරයි. බඹර පහස කැසට් එක එළිදැක්වුණේ 1988 ඔක්තෝබර් මාසේ 31 වැනිදා. මම ඒක එළිදක්වන දවසෙත් මීගමුවේ වේදිකාවක. එතකොට මම හිටියේ කෑගල්ලේ. මම ඒ ප්‍රසංගයට සින්දු කියන්න ගියේ ත්‍රීවීලර් එකක. ඒ කාලේ මට රුපියල් හයසිය පනහක් හෝ හත්සිය පනහක් ගෙව්වා. ඒ ප්‍රසංගයෙන් පසුව මට තවත් ප්‍රසංගයක් තිබුණා. මගේ කඳුළු බිඳක් සින්දුව ලිව්ව බන්දුල ජයසිංහ කියන රචකයාගේ ප්‍රසංගයක්. ඔක්කොම එයා ලිව්ව සින්දු. සංගීතය සිහ ශක්ති. එතකොට කඳුළු බිඳක් අවුට් වෙලා තිබුණේ නෑ.
අනික ඔහු මට ආරාධනා කරනකොටම මම කිව්වා මම ඔයාගේ සින්දු කියලා නැහැ කියලා. නෑ ඉන්නකො පොඞ්ඩක් කියලා සින්දුවක් හදලා දුන්න. ඒ සින්දුවට තාලයක් මම එදාම ගෙදර ඇවිත් දැම්මා. ඒක තමයි සෙනෙහස දෙවොලකි පුදනු හැකි ගීතය. එතකොට මගෙත් චන්ද්‍රලේඛාගෙත් ආදර සම්බන්ධයට මාස තුනයි.
කොහොමද ඒ කාලේ ලැබුණු රසික ප්‍රතිචාර?
මිනිස්සු එක පාරට පිළිගත්තේ නෑ. ඒකට මට මූලික ගෙවීමක් ලැබුණා. ජිප්සීස් ආයතනයෙන්. මොකද කැසට් එක නිෂ්පාදනය කළේ මමයි ලාල් පෙරේරයි. ඔවුන් ගේ ඒ කාලේ ගුවන්විදුලි වැඩසටහනක් තිබුණා. ඉතිං හැම ඉරිදාවකම මේකට පබ්ලිසිටි හම්බ වුණා. ඒ එක්කම හද බැඳි ගීවල බඹර පහස ගීතය සති හතක් තිස්සේ විකාශනය වෙනවා. මේවා මම කරපු සැලසුම් නෙවෙයි.
කැසට් එක හොඳට විකිණෙන්න ඇති නේද?
මේ මොනව තිබුණත් මිනිස්සු එක පාරටම මේක ගන්න කැමති වුණේ නෑ. ඒ කාලේ මට තිබුණේ ෆොක්ස්වැගන් වෑන් එකක්. ඔය වෑන් එකේ මගේ මිතුරෙක් එක්ක කැසට් කවර වීදුරු වටේට එල්ලගෙන මේ කැසට් එක විකුණන්න යනවා. ඔය මීගමුව පැත්තේ හැම කඩයකටම ගියා. ඒ කාලේ ගොඩක් කඩවලින් බඹර පහස කැසට් එක එපා කිව්වා. අන්තිමේ මම නිකං කැසට් එක දීලා ආවා.
ඊට පස්සේ දෙවැනි රවුම යනකොට සමහර කඩවලින් කියනවා කැසට් විසි පහක් දාලා යන්න කියපු අවස්ථාත් තියෙනවා දෙපාරයි ගියේ. ඊට පස්සේ යන්නත් බැරිවුණා.
අදටත් සමහර කඩවලින් රුපියල් අසූව හාරසියය වගේ මුදල් ගන්නත් තියෙනවා.
බඹර පහස කැසට් එකට අමිහිරි අත්දැකීම් තිබෙන පාටයි?
ඒ කාලේ මට ගොඩක් චෝදනා තිබුණා.
මේ කැසට් පටයට ප්‍රවීණයන්ගෙන් චෝදනා ආවේ නැද්ද?
ආවා. මේ වෙනසත් එක්කයි චෝදනා ආවේ. සමහර අය චෝදනා කළ යුතු නැහැ කියලයි මම හිතන්නේ.
ඇයි ඒ?
මොකද ඒ ගොල්ලන්ගේ ගීත සීඞී පටවලට කියලා දීලා තියෙන්නේ මම. සමහර සින්දු හැදුවෙත් මම. තනු හැදුවෙත් මම. හරියට මෙතැනට අලූතෙන් කෙනෙක් ආවා වගෙයි. මම අලූත් කෙනෙක් නෙමෙයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ ඉස්කෝලෙ යන කාලේ ඉඳන්. මම මෙතැනට එන්නේ 1970 අවුරුද්දේ ඉඳන්. උසස් පෙළ කළෙත් ක්ෂේත්‍රයට ආවට පස්සේ. සංගීතයට තියෙන ආදරය හින්දම ඒකත් කඩාකප්පල් කරගත්තා. මම උසස් පෙළ කරන්න ඉස්කෝලේ ගියේ එක අවුරුද්දයි. මම කෙළින්ම ආවේ ප්‍රවීණයන්ගේ ගොඩට.
ඒ කාලේ ඔබට හමුවුණ චරිත එහෙම කියන්න පුළුවන්ද?
ඒක තමයි මම ඒකට වාසනාව කියන වචනය පාවිච්චි කරන්න කැමති නෑ. ඊට වඩා මම කැමතියි දේව කැමැත්ත කියන වචනය පාවිච්චි කරන්න. මොකද වාසනාව කියලා දෙයකුත් නෑ” අවාසනාව කියල දෙයකුත් නෑ කියලයි මම හිතන්නේ. ඒක ආශිර්වාදය. තමා කරන දෙයක් නෙවෙයිනේ ඒක පිටින් ලැබෙන දෙයක්නේ. මගේ ගමනට ෂෝට් කට් එකක් වුණේ ස්ටැන්ලි පීරිස් ගුරුතුමා. පාසල් අවධියේදීම ඔහුව මුණගැසුණ හින්දයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ. මගේ පාසල් අවධියේ ඔහු හිටියේ ලංකාවේ සුපිරිම බෑන්ඞ් එකක. ඒ ෆෝර්චූන් බෑන්ඞ් එකේ.
එවකට ලංකාවේ ෆෝර්චූන් බෑන්ඞ් එකේ සංගීතයට සමානව හෝ උසස් සංගීතයක් තිබුණේ නෑ. ඉතිං මම ඒ බෑන්ඞ් එකේ අවුරුදු අටේ නවයේ ඉඳන් සින්දු කියනවා. ඒ සම්බන්ධකම් තිබුණ හින්ද ස්ටැන්ලි පීරිස් මහත්මයත් එක්ක එකතුවෙලා නුවර ගැලැක්සීස් කියලා තවත් බෑන්ඞ් එකක් හැදුවා. ඔහු එතකොට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඔහුත් එක්ක තමයි මම කෙළින්ම ශබ්දාගාරයට ආවේ. ඒ ආපු ගමනේදී තමයි මට ඔක්කොම ආර්ටිස්ට්ලා හම්බ වුණේ. මට මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා හඳුන්වල දුන්නෙත් ස්ටැන්ලි පීරිස් මහත්මයා. ඒ ඔහුගේ ගෙදරට ගිහිං. ප්‍රියා සූරියසේන” නීලා වික්‍රමසිංහ වගේ ගොඩක් අය හම්බවෙනවා. එතකොට මට සින්දු හදන්න හම්බවෙනවා නීලා අක්කාට සින්දු අටක් කරලා තියෙනවා. මම හිතන්නේ මිල්ටන් අයියාට සින්දු හයක් හතක් හදලා ඇති. ඉක්මනට මෙතැනට ආවා කියලා මම නිකං හිටියේ නෑ. මම හිතන විදියට මමත් වේගයෙන් ගමන් කළා. මට ගායකයෙක් වෙන්න කොහෙත්ම වුවමනාවක් තිබුණේ නෑ. මට ඕනෑ වුණේ සංගීත අධ්‍යක්‍ෂවරකේ වෙන්න. සින්දු හදන්න. සිනමාවට සින්දු සපයන්න. ඒවා තමයි මගේ තිබුණ ලොකුම ආසාවල්.
හැබැයි ඔබ මිනිස්සු අතරට යන්නේ ගායකයෙක් විදියට?
ඔව් ඒක ඇත්ත. ඒක ශ්‍රී ලංකාවේ හැටි. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නෑ. මම කරපු නිර්මාණ බලන කට්ටියක් හිටියා. නිර්මාණකරුවෙක්ව මිනිස්සු හඳුනගන්නවා හරි අඩුයි. ගායකයාට සහ ගීතයට තමයි මිනිස්සු වැඩිපුර කැමති. ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි මම ඒකට ටිකක් පුදුම වුණා. හැබෑටම සින්දුවක් හැදුවා කියලා කවුරුවත් දන්නේ නෑනේ. මටනේ මේක හැදුවේ. අනේ ඉතිං මාරයි නේද. මම තමයි මේ සින්දුව ලිව්වේ. ඒත් කවුරුවත් දන්නේ නෑනේ. ඒත් සිහින් දුකක් තියෙනවා. මම හිතනවා මට ඒ දැනුන දුක අනිවාර්යයෙන්ම අද සින්දු ලියන කට්ටියට සහ සංගීතය කරන කට්ටියට ගොඩක් දැනෙනවා ඇති කියලා. මට සින්දු කියන්න පුළුවන් කියලා මම දන්නවා. ඒකයි මට විශේෂයෙන් දුකක් ආවේ. පස්සේ මට නොයෙක් නොයෙක් ප්‍රශ්න ආවා කිසිම දවසක අරය කැපුවා මෙයා කැපුවා කිය කියා දුක් වුණේ නැහැ.
ඒ කාලේ ඔබේ මාර්ගයටත් බාධක තිබුණා?
පැහැදිලිවම තිබුණා. කට්ටිය කටින්ම කිව්වා අපි නම් කැපුවෙ නැහැ කියලා. මම කාත් එක්කවත් තරහක් නෑ.
දිනේෂ් විතාන
